හොරුන්ගෙත් හොරු හෙවත් කම්බා හොරු

Posted on July 28, 2010



සල්ලි දී හැම දෙයක්ම ලබා ගත හැකි ලෝකයක රහත්කමත් ඒ ආකාරයටම ලබා ගත හැකි යයි සිතීම එක අතකට පුදුමයක් නොවේ යයි කෙනෙකුට සිතෙන්නට පුලුවන.

ඒත් නොගැලපෙන යමක් තවමත් ඉතිරිව ඇත. අන් සියල්ල  පුලුවන් වුනත්, රහත්භාවය?

පොලීසිය කියන්නේ මෙසේ කියා ආරණ්‍යවාසී මෙහෙණින් වහන්සේ නමක් කලක් තිස්සේ වංචාවක් කර ගෙන විත් පොහොසත් වී ඇති බව ය.

මහණුන් අතර හොරු හිටියේ අදක ඊයෙක නොවේ. ඇත්තටම අපරාධ කාරයෙකුට වහංගු වී ඉන්නට පුලුවන් හොදම තැන සාසනය ය.

එහෙත් වෙනත් බොහෝ දේ සාසනය තුළ විකිණිය හැකි වුවත් රහත්කම නම් ‍විකිණිය හැකි යයි මා නම් හිතුවේ නැත.

එහෙම හිතපු මේ මෙහෙණින් වහන්සේ දුරදක්නා නුවණ ඇත්තෝය. එසේ විය නොහැක්කක් යයි අපගේ සිතට වැටහෙන දෙයක්, විය හැකි යයි දැක, ඒ ගැන ක්‍රියාකිරීමට නොබියව කටයුතු කොට, එයින් සාර්ථක ප්‍රථිපල ද ඇය විසින් නෙලා ගෙන ඇති නිසා ය.

රවටා ඇත්තේ සුලුපටු කෙනෙකු නොවේ මහනුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක හිටපු විදුහල්පති වරියකි.

මෙයින් අපට ගත හැකි ඉගෙනුම් බොහෝ ය.

  • රහත්භාවය ගැන අවබෝධයක් බොහෝ දෙනෙකුට නැත.
  • අපේ මිනිසුන් ඉතා පහසුවෙන් රැවටිය හැකි ය.
  • මිනිසුන් රැවටීම හා උන්ගේ උගත්කම අතර මොනම සම්බන්ධයක්වත් නැත.
  • මිනිසුන් රවටන්නට හොදම ආවරණය ආගම ය.
  • මේ රටට දෙයියන්ටවත් පිහිට වෙන්නට බැරි ය.

මෝහිනියටවත් රැවටෙන්නේ නැති බොහෝ දෙනා පවා ආගම ඉදිරියේ රැවටෙන බව මෙයින් වැඩිමනත් තේරුම් ගත යුත්තේ ය.

දැන් මාතෘකාවට බහිමු. රහත්භාවය මුදලට ලබා ගන්නට පුලුවන් යයි හිතන කෙනා තුළ ද ඇත්තේ හොර හිත ය. එහෙව් හොරෙකුගෙන් යමක් හොරකම් කරගන්නා කෙනා හොරුන්ගෙත් හොරෙකි. එනම් කම්බා හොරෙකි! අප ඉහත මාතෘකාව යෙදුවේ ඒ නිසා ය.

එයින් අප අදහස් කළේ මෙයට සම්බන්ධ කිසිවෙකු රැවටුනු අය ද අතුළුව අහිංසක නැත යන්න ද කියන්න ය. අප දක්වන්නට අදහස් කළ වැදගත්ම පණිවුඩයත් එයම ය.

Posted in: Uncategorized