සරසවි සිසුන් නැතැයි කියන – පර සුද්දන් නොදකින – අප ‍රටේ උත්තම නිදහස

Posted on July 26, 2010



අප රට තරම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකින රටවල් මේ දියත තුළ ඇත්නම් ඒ ස්වල්පයකි. එහෙත් සුද්දා කියන්නේ වෙනස් කතාවකි. ඒ සමහරවිට අපට ජී එස් පී දෙන්න වෙනවාට දැයි වෙලාවකට සැකයක් ඇති වෙයි.

තවත් සමහර වෙලාවට හිතෙන්නේ උන්ට නැති කරන්න බැරි වූ ත්‍රස්තවාදය අපි මුලිනුපුටා දැමීම ගැන ඇති වූ තද ඉරිසියාවක් නිසා කරුණු විකෘති කරන බව යි.

එක්සත් ජාතීන්ගේ ලංකා කාර්යාලය වටලා කොමිසම අකුළා ගන්නා තුරු එහි සේවකයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවා ගන්නේ ලංකාවේ ය. ප්‍ර‍ජාතන්ත්‍රවාදී උද්ඝෝෂනයක් කිරීමට ජනතාවට අයිතියක් ඇතැයි රජය මේ වෙලාවේ සුද්දාට ඇහෙන්නට ආඩම්බරයෙන් කීවා අපට මතක ය.

ඇත්තටම එහෙම නිදහසක් වෙන රටක ජනතාවට ලැබිය හැකි ද? සුද්දන් තමන්ගේ රටක එහෙම දෙයක් කිරීමට ඉ‍ඩ දේවි ද? අප සුද්දාගෙන් පෙරළා ඇසිය යුත්තේ මෙවැනි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ඇති රටක ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම ජී එස් පී කොන්දේසියක් කිරීම සාධාරණ ද කියා ය. උන්ට කිව යුත්තේ එයින්ම උන්ගේ කොටියාට ඇති පක්ෂග්‍රාහීත්වය පෙනෙන බව ය.

(ඇත්තටම දයාන් ජයතිලකවත් හිටියා නම් මේ බව සුද්දාට හොද ඉංග්‍රීසියෙන් කියා දෙනවා ඇත. රජීව් විජේසිංහලාට හැබෑ ලෙසම ඉංග්‍රීසි පුළුවන් දැයි සැක හිතෙන්නේ මේවා සුද්දාට ඒත්තු ගැන්වීමට රජීව්ලාට තියෙන නොහැකියාව නිසා ය.)

කට කැඩිච්ච විශ්ව විද්‍යාල කොල්ලෙකුට ඒ වල් බූරු නිදහස අපට නම් නැතැයි පල් වාක්‍යයක් දාන්නට පුලුවනි ය. උන් තේරුම් ගත යුත්තේ යම් උද්ඝෝෂණයක් කළ යුතුමයැයි හැගෙන්නේ නම් විමල් වීරවංශ සහෝදරයාට කියා ඔහුවත් ඊට සම්බන්ධ කර ගත යුතු බව ය. එහෙම වෙලාත් පොලීසිය ආවොත් ආරක්ෂක ලේකම් තුමාට කෝල් කර පොලීසිය කරන්නට යන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ ගැන දන්වා විත්ඩ්‍රෝ කරන්නට ඕඩරයක් ලබා ගත යුතු බව ය.

මෙතරම් පැහැදිලි පටි පාටියක් තිබියදීත් එය අනුගමනය නොකර පිස්සු කෙළින්න ගියාට ආණ්ඩුව පලි ද? මේ පටිපාටිය අනුගමනය නොකරමින් උද්ඝෝෂණයන් ගෙන යෑමෙන් උන් උඩ ගෙඩි දෙන්නේ අපට කෙළවන්න බලා සිටින සුද්දාට හා උන්ට කත් අදින බෑන් චූන් ලාට ය.

මේ බව වටහා ගැනීමට තරම් බුද්ධියක් සරසවි සිසුන්ට ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.

එහෙම නැතොත් ඉතින් මළ ගෙවල්වලට යන්න සුදු ඇදුම් කලින් අරන් තියා ගන්නා එක හොද ය.

Posted in: Uncategorized