ඩෙංගු කොමිටිය රැස්වෙයි. වාර්ථාව මෙසේ වෙතැයි Beyond Frame අනුමාන කරයි.

Posted on July 16, 2010



ඩෙංගු හැදී වෛද්‍යවරියක් මියගියා ය යන ආරංචිය ඇසූ රජතුමාට මල පැන්නේ ය. වහාම හේතු හොයා වාර්ථා කරන ලෙස කමිටුවක් පත් කරන ලද්දේ ය.

කමිටුව විසින් සොයා ගනු ලැබීමට නියමිත දේ අතර පහත දේද වෙයි.

  1. ඩෙංගු සෑදීමෙන් මියගිය පළමුවැන්නා මේ වෛද්‍යවරිය නොවේ. තව බොහෝ දෙනෙකු මේ වනවිට මිය ගොස් තිබේ.
  2. බෝම්බවලට පමණක් නොව මදුරුවො කාලා ද මිනිස්සු මිය යති. ඒ ඩෙංගු හැදිලා ය.
  3. එවැනි මදුරුවන් බෝවීම වැළැක්වීමට බැක්ටීරීයාවක් කියුබාවේ නිපදවා තිබේ. එය ගෙන්වීම සදහා මෙරට සෞඛ්‍ය බලධාරීන් පිඹුරුපත් සකස් කරන්නට පටන් ගෙන අවුරුද්දකට වැඩි ය. එය රටට ගෙන්වීමට මෙතෙක් පමා වූයේ භාණ්ඩාගාරයට සල්ලි හොයා ගැනීමට නොහැකි වූ නිසා ය.
  4. එයින් රජයට වන අපකීර්තීය වැළැක්වීම සදහා සෞඛ්‍ය බලධාරීන් විසින් නොකළ දෙයක් නැත. ජීව විද්‍යාඥයින් ලවා බොරු කියව එයින් අතුරු ආන්තරා ඇතිවෙතැයි කියමින් ‍සල්ලි හොයා ගන්නකම් තීරණය කල් දැමුව ද සල්ලි ලැබුනේ නැත.
  5. අන්තිමේ ලංකාවේ පර්යේෂණ ආයතනයක් අඩු වියදමකට හදා දෙන්නට පොරොන්දු වූවාට පසු එය හෙට අනිද්දා එන බවක් කියා තිබේ. එහෙත් අවාසනාව කියන්නේ මදුරුවන් එතෙක් අනින එක කල් තබන්නට එකග නොවීම ය. වෛද්‍යවරිය මළේ මදුරුවන්ගේ මේ හිතුවක්කාරකම් නිසා ය.
  6. ඇත්තටම කියනවා නම් රජතුමා වුව ද ඩෙංගු හැදී කප් ගහන්නට පුලුවන. ඊයේ පෙරේදා යාපනේ ගිහින් ඇවිද්ද නිසා බඩු දැනටමත් හරිදැයි දන්නේ නැත. එහෙම වුනොත් මේ වාර්ථාව බාර දෙන්න වෙන්නේ ඊළග රජතුමාට ය. මෙහෙම කෙළින්ම කියනවාට අහිතක් හිතන්නට එපා ය. මදුරුවන් ද වටින්ගොඩින් නැතිව කෙළින්ම වැඩේ දෙන නිසා මෙසේ නොකියා බැරි ය.
  7. ඩෙංගු වැඩිපුර හැදෙන්නේ පෝෂ්‍ය දායක අහාර ගෙන හොදින් වැඩුනු ශරීරවල ය. ඇත්තටම දුප්පත් මිනිසුන් බේරී ඉන්නේ මේ නිසා ය. රුපියල් දෙදහස් පන්සීය දැන්ම දුන්නොත් ඒකෙන් කාලා කට්ටිය ඩෙංගු හදා ගන්නට බැරි නැත. ඒක පිට දාලා ඕනෑ නම් දෙදහස් පන්සිය දෙන එක තව දෙදහස් පන්සියයක කාලයකට පමා කර ගත හැකි ය.
  8. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති කම ලැබුනු අපේ ඇමතිතුමා ලෝක සෞඛ්‍යය ගැනම හෙව්වා මිස අපේ සෞඛ්‍ය ගැන හෙව්වේ නැත. ඇත්තටම අපේ නායකයින් රට රටවල ප්‍රශ්න විසදන්නට දක්ෂ වුනාට අපේ ප්‍රශ්න විසදන්නට තබා ඒවා දැනගන්නටවත් දක්ෂ නැත. එහෙම නොවන්නට අපට මෙහෙම කොමිටියක රාජකාරී කරන්නට වෙන්නේ නැත.
  9. ඇත්තටම ඩෙංගු ගැන හිරේ යවනවා නම් ඉස්සෙල්ලාම යවන්න ඕනෑ ප්‍රාදේශීය සභාවල බලධාරීන් ය. පොලිතීන් උර සහිත කුණු වෙලාවට ඉවත් නොකරමින් ඩෙංගු සුරපුර නිර්මාණය කරන්නේ ඔවුන් ය. කැකිල්ලේ රජ්ජුරුවන් වුනත් අලියාට තුවාල නොවී පාගන්න පුලුවන් කෙනෙකු මිසක තමන්ගේ අලියා තුවාල වෙන විදිහේ කෙනෙක් වැරදි කාරයා කරන්නට කැමැත්තක් දැක්වූයේ නැත. සෞඛ්‍ය අංශවල කට්ටිය ද ප්‍රාදේශිය බලවතුන් උසාවි ගෙන යෑම ගැන මහන්සිවෙන්නේ නැතිව පුංචි මිනිසුන් අල්ලා හිරේ දමන්නේ ඒ නිසා ය.
  10. සමහරු කිව්වාට ඩෙංගු නැතිකිරීම ලේසි නැත. ඒ නිසා කාර්ය සාධන බලකායවල් හා කොමිටි පත් කිරීම හරහා යමක් කෙරෙන බව පෙන්වා සිටීම හොද ය.
  11. තමන් ගෙනා කාලය ඉවර වුනාම මැරෙනවා විනා ඩෙංගු නිසාම මැරෙනවා යයි කිව නොහැකි බවට බණක් හාමුදුරු කෙනෙක් ලවා කියවන එක අපි ලවා සෞඛ්‍ය නිවේදන නිකුත් කරනවාට වඩා පහසු ය. එතකොට අපේ වැඩෙත් පහසු ය.
  12. රට හැර යන්න පුලුවන් අයට පැන ගෙන බේරෙන ලෙස කිව හැකිය. එතකොට රට රස්සාවලට ගිහිල්ල තව ‍විදේශ විනිමය ටිකක් ගෙන්වා ගන්නට ඉඩ ලැබෙන්නේ ය.
  13. විමල් වගේ ඉතිරි අම්මලා තාත්තලාත් ඉගෙන ගන්නට තම දරුවන් පිටරට යවන්නට හිතාගන්නවා නම් ඩෙංගු ගැන ආණ්ඩුවට මේ විදිහට බැණ බැණ ඉන්න ඕනෑ නැත.
  14. ඔබ තුමාට ඩෙංගු නොහැදී බේරුණොත් ඇති ය. අපේ ආයුෂත් අරගෙන ඔබතුමා ජීවත්විය යුතු ය. බැරිවෙලාවත් ඔබතුමා මැරු‍ණොත් මෙහෙම කොමිටියක් දාන්නටවත් කවුරුවත් නැත.
Posted in: Uncategorized