කරුණා අම්මාන් ගිය පාරෙ යන්නට ගොස් දෙන්නෙක් දැලේ පැටලේ! ජූලි හත යි!

Posted on July 12, 2010



ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර මගින් නීති විරෝධීව ජපානය සහ ඉතාලිය බලා ගොස් පිටුවහල් කර එවූ විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 10 ට අත්හිටවූ බරපතළ වැඩ ඇතිව වසර දෙක බැගින් සිරදඩුවම් නියම කළ මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජයකී ද අල්විස් මහත්මිය විසින් එම විත්තිකරුවන්ට රු 50000 බැගින් දඩ ද නියම කරන ලදී.

ඉහත පළවන්නේ ජූලි 07 බදාදා දිවයින පත‍්‍රයේ24 පිටුවෙ පළවූ ප‍්‍රවෘත්තියකි.

ජූලි හත යි. මොකද්ද මෙ කරගෙන තියෙන වැඩෙ. කියවාගෙන යනකොටම වැඩෙ වැරදි ඇතැයි අපට නම් පෙනී ගියේ ය.

අපේ කරුණා ඇමතිතුමා ද මෙම වැරැද්දම කළ අතර ඔහු ඒ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය හිර ගෙදර මාස 6 ක් සිරබත්ද කෑවෙ ය. එහෙත් ඔහු සම්බන්ධයෙන් අපේ රටෙ නම් නීතිය ක‍්‍රියාත්මක වුනු බවක් අප දන්නේ නැත. අප මෙ බව මතක් කරන්නේ එහෙම තිබියදී සෙසු මිනිසුන්ට එරෙහිව මෙසේ අධිකරණයට යාමෙන් නීතිපති දෙපාර්තමෙන්තුව ද ආණ්ඩුව ද හෑල්ලුවට පත්වන්නට ඉඩක් තිබෙන නිසා ය.

අවශ්‍ය නම් මෙ පුද්ගලයින් දෙදෙනාට මෙ බව කියමින් මානව අයිතිවාසිකම් නඩුවක් යෑමට ද නිමිත්තක් තිබෙ.

එහෙම ගියොත් මානව හිමිකම් ප‍්‍රශ්නයක් නැවතත් මතුවන්නට පුලුවන. මෙ වෙලාවෙ එය රටට හොඳ නැත.

ඊට අමතරව මෙ වෙනකොට රටට විදේශ විනිමය ගෙනෙන ප‍්‍රධාන මාර්ගය බවට පත්ව ඇත්තේ මෙසේ පිටරට ගොස් රැකියාවල් කර මිනිසුන් එවන මුදල් ය.

අප මෙ දඩුවම් කරන්නේ එවැනි උත්තුංග අරමුණක් පෙරදැරිව රට පනින අපේ දේශපේ‍්‍රමී සහෝදරවරුන්ටය. එය ලෝකයා කොහොම වෙතත් රටෙ මිනිසුන් දැනගැනීම චන්දයකදී පාඩු ය.

මෙ කරුණු සළකා බලා ආගමන විගමනය සම්බන්ධයෙන් දඩුවම් පැමිණවීම ටිකක් පරිස්සමෙන් කිරීමට හිතට ගන්නවා නම් හොඳ ය.

(පාර මාරුවන විට එක පැත්තක සිට තව පැත්තකට නීති ප‍්‍රකාරව පැනගත නොහැකි මිනිසුන් සිටින රටක රටකින් රටකට මාරුවන විට එසේ නොකළැකි වීම එක් අතකට අරුමයක් ද නොවෙ)

හැමදාම බණිනවා යයි අපට චෝදනා කරන අයට දැන්වත් සැනසීමට හැකි ය. ඔන්න අපි චෝදනා වෙනුවට යෝජනාවක් කළෙමු.

Posted in: Uncategorized