ජී ඇස් පී ප්ලස් එකක් ගේන්නද උණුවෙන් හදාගෙන?

Posted on July 1, 2010



මම හීනයක් දුටිමි. ඒ හීනයේදී ආණ්ඩුවේ බදු සහන යටතේ මා විසින් මිලදී ගත් බෙන්ස් රථයක් මම පදවමින් සිටියෙමි. එසේ උජාරුවෙන් යන අතරේ අතරමග පාරක හිගන්නෙක් හා හිගන්නියක් සිටිනු මම දුටුවෙමි. ජීවිතයේ කිසිදා හිගන්නෙකුට සතයක් දී නැති මට මේ වෙලාවේ මේ අහිංහකයින්ට සංග්‍රහයක් කළ යුතු යැයි සිතිනි. ඒ සිතුවිල්ල කොහොම ආවාදැයි මටම ප්‍රශ්නයකි. හීනයකදී බොහෝ විය නොහැකි දේද සිදු වෙයි.

රථය නතර කළ මම රථය ලගට එන ලෙස උන් දෙන්නාට සන් කළෙමි. ගැහැණිය එන්නට ඉදිරියට එන විටම හිගන්නා සැරයක් දමා ඇයව නවත්වා ගත්තා ය.

සල්ලි දෙන්න ඕන නම් ලගට ගෙනල්ල දෙනව. අපට බෑ තමුසෙ ලගට එන්න.

මදැයි මුන්ගේ ගණන්. එහෙම හිතුනේ වුව ද මා උන් දෙස දිගටම බලා ගෙන උන්නේ සිදුවූ දේ අදහාගනු බැරිව එය තේරුම් ගැනීම පිණිස ය.

ඇයි ලොක්කා මොකද එන්න හදපු ගෑණිවවත් නතර කර ගත්තෙ.

ඒක තමුසෙට මොකටද? අපේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගහන්න තමුසෙට තියෙන අයිතිය මොකද්ද?

බලාගෙන ගියහම ඒකත් ඇත්ත ය. ඒවුනාට මා එන්නට යැයි අතින් සන් කළේ ඇගිලි ගහන්නට නොවේ. කීයක් හරි මුන් දෙන්නාට දෙන්නට ය.

දෙන්න ඕන නම් තමුසෙ අපි ලගට ඇවිල්ල දීල යනව.

මට දැන් නම් තරහේ ඉන්න බැරි ය. ඕන මගුලක් කරගන්නටය කියා රථය නැවත පන ගැන්වීමි.

ඔන්න එතකොටම ගෑණිය අඩි දෙකක් ඉදිරියට ආවා ය. හිගන්නා නුදුටුවාක් මෙන් අහක බලා ගත්තේ ය. ගෑණිය සතුව තිබුනේ දුක් බර මුහුණකි. කොහොමටත් ගෑණුන්ගේ දුක් මූණට මම ටිකක් සරෙන්ඩර් වෙනවා ය.

සෑර්ම ඇවිල්ල දෙන්න. එතකොට අපටත් නම්බුයි. සෑර්ගෙ පිනත් වැඩිවෙනවා. හිගන්නා අහක බලාගෙනම කියූ අතරේ ගෑණිය බැගෑපත් බැල්මක් දැම්මා ය.

බලා ගෙන ගියහම ඒකත් ඇත්ත ය. මා මුන්ට සල්ලි දෙන්නට කල්පනා කළේ පිනක් දහමක් කර ගැනීමට ය. ඉතින් ඒකට මමම ගිය යුතු ය. දෙවියන් විසින් ආණ්ඩුව හරහා බදු අඩු කොට කාර් එකක් අරන් දෙන්නට ඇත්තේ වැඩි වැඩියෙන් පින් දහම් කරනු පිණිසය. පිනක් දහමක් කර දෙවියන්ට ස්තුති නොකරොත් උන්නැහේ මේක ආපහු ගන්නවා ඇත. සමහර මුදලාලිලා වුව දන්පින් කරන්නේ එහෙම ඇබැද්දියක් නොවෙන්න ය.

මම සල්ලිත් රැගෙන ලගටම ගියෙමි. ළගට යන විට පෙනුනේ මේ නම් දන්නා අදුනන මුහුණු දෙකක් බව ය.

හිගන්නා ජී ඇල් පීරිස් ය. හිගන්නිය පී බී ජයසුන්දර ය. තවත් කවුරුවත් වට පිටාවේ ඉන්නවාදැයි බැලූවිට පෙනුනේ සුදු වෑන් එකක් ඉදිරියෙන් නවත්වා තිබෙන බව ය. ඉස්සරහ සීට් එකේ හිටියේ අපේ රජතුමා ය. එලවා ගෙන ඇවිත් තිබුනේ එතුමාගේ බෑයා වූ බැසිල් යුවරජ්ජුරුවන් වහන්සේ ය. දෙන්නාම සිදුවන දේ දෙස ඉතා වුවමනාවෙන් බලා සිටියෝ ය.

පිටුපස උඩු රැවුලක් සහිත පුද්ගලයෙක් සිටියේ ය. ටිකක් හරියට ‍ගෝඨාභය වගේ ය. උන්දෑ දොර අරින කොටම මට නිකම් කොහේ කවදාවවත් ඇති නොවූ අප්සෙට් එකක් දැනුනේ ය. පිටුපස අසුනේ සැගව සිටි නාමල් දැක්කේ ඇරුණු දොර අතරිනි.

හද්දෙයියනේ මට ඉබේම කැගෑවිනි.

ඇයි ඇයි මොකද හීනෙන් වත් බය වුනා ද? බිරිදද නැගිට ගෙන ය.

මගේ ඇග පුරා දාඩිය ය. ජී ඇස් පී ප්ලස් එකක් ගේන්න ද උනුවෙන් හදාගෙන අසමින් ඇය ඇදෙන් නැගිට්ටා ය. කිරිපිටි මිල වැඩිවුනායින් පසු මගේ බිරින්දෑ විසින් සොයාගත් අලුත් කිරිපිටි ජාතියක් වෙන්නට ඇත. මොනවා වුනත් මේ වෙලාවට උණුවෙන් බොන්න පුලුවන් නම් හොද ය. හීනය මගේ පවස දෙගුණ තෙගුණ කර තිබිනි.

Posted in: Uncategorized