පුක්කුසාතී වෙදැදුරු සොයාගත් අපේ ලෙඩේ නොහොත් ප්රී මැචුඅර් ඉජැකියුලේෂන්

Posted on June 28, 2010



පුක්කුසාතී අපේ බ්ලොග් අඩවියට නිතර ගොඩ වෙයි. එතුමා පහුගිය දොහක ගොඩ වැදුණු වෙලේ අප සතුව ඇතැයි ඔහු විසින් සැක කෙරෙන ‍රෝගයක් ද ගවේෂණය කර අපට දැන්වීමට තරම් කාරුණික වූ හ. එතුමාගේ ඒ කුසලතාවය මගින් පෙන්නුම් කරන්නේ එතුමා වෛද්‍ය පසුබිමකින් එන කෙනෙකු බව ය. එය අපට අදාළ නොවෙතත් අප සම්බන්ධයෙන් දැක්වූ කාරුණික අනුග්‍රහයය වඩාත් ඔප් නංවා පෙන්වාලීමට අප අනුමාන කරන ඒ තොරතුරු ද වැදගත් නිසා මෙසේ පලකරම්හ.

එතුමා කියන ආකාරයට අප පෙළෙන්නේ ප්රී මැචුඅර් ඉජැකියුලේෂන් නම් රෝගයකිනි. එතුමාගේ ඥාන දර්ශනයම උපයෝගී කරගෙන රට දෙස බැලූ විට අපට පෙනුනේ තවත් බොහෝ දෙනෙකුට ඒ රෝගය ඇති බව ය.

තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කෙරෙමින් පවතින්නේ යයි සිතමින් මූණ සෝදන බේසමේ ද කිඹුලන් දකින්නේ ඒ රෝගයෙන් පෙළෙන අය ය. එහෙම බැලුවම සියලුම දේශප්‍රේමී දේශපාලනඥයින් පමණක් නොව සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නියමුවන් ද පෙළෙන්නේ ඒ රෝගයෙනි.

යුද්ධය ජය ගෙන ජනතාව ඇමතූ ජනාධිපති තුමන් මින් මත්තට සුළු ජාතිකයින් මේ රටේ නැතැයි කියන විට ද වූයේ සිතූ වහාම යාමකි. එනම් ප්රීමැචුඅර් ඉජැකියුලේෂන් එකකි.

එතුමාගේ බෑයා බීබීසියට සරත් ෆොන්සේකා එහෙම කළොත් එල්ලනවාය කිව්වහමත් වුනේ ඒ වාගේ වැඩකි.

එතැනින් ගියහම එක්සත් ජාතීන් පරීක්ෂා කරන්නට යනවා යයි කිව්වහම විමල් වීරවංශට කට ඇරුනේත් එහෙම නවත්වා ගන්නට බැරි වූ යාමකිනි.

උතුරේ වසන්තයත් නැගෙනහිර නවෝදයත් ඒ වගේම යෑම් දෙකකි. ඒ දෙපැත්තේ ජනතාවගේ සහභාගිත්වය නැතිව ඒ දෙරට නවෝදයත් වසන්තයත් උදාකරන්නට එසේ ගියේ බැසිල්ට ය.

තාම ඇට පොත්තෙන් එන්නත් කලින් රටපුරා කටවුට් ගහගෙන තැන නොතැන නොබලා වඩිමින් ප්‍රාදූර්භූත වන නාමල්ට ඇත්තේ ද ප්රීමැචුඅර් ඉජැකියුලේෂන් එකකි.

බලාගෙන ගියහම රටේ නායකයින්ට කාටත් තියෙන ලෙඩක් අපටත් තිබීමෙන් පෙනී යන්නේ අප ද ඒ පැලැන්තියට අයත් බව ය.

මට ප්‍රෙෂර් තියෙනවා යයි ආඩම්බරයෙන් කියන ලෙඩකු මෙන් මටත් ප්රීමැචුඅර් ඉජැකියුලේෂන් යන අපේ ලොක්කන් හැමෝටම තියෙනා ලෙඩේ තියෙනවා යයි දැන් පපුව ඉස්සරහට දමා කිව හැකි ය.

ඒ පුක්කුසාතී වෛද්‍ය තුමාට පින්සිදු වන්නට ය. සසර කෙටිකර ගෙන නිවන් දකින්නට ඔබතුමාට මේ කළ පිනම ඇති ය.

Advertisements
Posted in: Uncategorized