සකල විධ මිත්‍ය විශ්වාසයන්ට එරෙහි වෙමු! මිනිසුන් මරු තුරුලට යැවීමෙන් වළකමු!

Posted on June 27, 2010



මිත්‍යා විශ්වාස නිසා පොදුවේ මිනිසුන් ලබන අලාභයන් අති මහත් ය. එය උන්ගේ කරුමය යයි කියමින් අපට අත පිසදා ගත හැකි ද?

එහෙත් අරුමය නම් සමහර එවැනිම මිත්‍ය විශ්වාස නිසා වාසිත් මිනිසුන්හට ලැබීම ය. උදාහරණයක් ලෙස යමක් කළ විට ලෙඩක් හොද වෙනවා යැයි සිතීමම ඒ ලෙඩය හොද වීමට (සමහර ලෙඩ සම්බන්ධයෙන්) හේතු වන නිසා ය. වෛද්‍ය විද්‍යාවේ ප්ලැසිබෝ සංසිද්ධිය ලෙස එය හදුනාගෙන ඇත. ඒ නිසාම මේ විශ්වාසයන්ට එරෙහිව කරන අරගලය අමාරු එකක් ව තිබේ.

අප මේ බව කතිකාවකට බදුන් කරන්නට සිතුවේ පොල්හේන්ගොඩ ළමයා එවා තිබූ ලක්බිම පුවත්පතේ පළව තිබූ ප්‍රවෘත්තියක් දුටු නිසා ය.

ලෙඩවී ඇති ළමයෙකුට වෛද්‍ය ප්‍රතිකාර නොකර යාඥාකරමින් තබා ගැනීම නිසා ඒ දරුවා මියගියාය යන්න ඒ ආරංචියයි. අප චීවරධාරීන්ගේ කටයුතු මිසක පාස්ටර්වරුන්ගේ කෙරුවාවල් නොසොයන බවට චෝදනා කරමින් පොල්හේන්ගොඩ ළමයා මේ ප්‍රවෘත්තිය අප වෙත එවා තිබුන ද ඒ ගැන තරහකින් තොරවම අපි අද මේ නිමිත්ත අපේ සටහන සදහා භාවිතා කරන්නෙමු.

මෙය අපරාධයකි. ඒ බව හෙලිදරව් කර සෙසු දරුවන් හා මිනිසුන් ගලවා ගත යුතු මරුවැලකි.

එහෙත් පොල්හේන්ගොඩ ළමයා විශ්වාස කරන ලෙස මේ විශ්වාසයන් පසුපස මිනිසුන් යන්නේ ක්‍රිස්තියානි ආගම විසින් මෙහෙයවනු ලැබීමෙන් පමණක් නොවේ. විශ්ව ශක්තිය ද ඇතුළු බොහෝ මහාප්‍රාණ කියමින් බොහෝ දෙනා මේවා යොදා ගෙන අසරණ ජනතාව නොමග යවති.

සමහරු නම් මේ විශ්වාසයන් වෙනුවෙන් අත දිග හැර වියදම් කරතත් බේත් හේත් ගැනීම වරද්දන්නේ නැත. ඒ නිසා තියෙන සල්ලි ටික අහිමිකර ගන්නවාට අමතරව වෙන අමාරුවන්ට වැටෙන්නේ නැත.

එහෙත් කිසියම් නිකායක් බේත් ගැනීම වළක්වන්නේ නම් එතැන සිවිල් සමාජයට මැදිහත් විය යුතු නිමිත්තක් තිබේ. ඒ නිත්‍ය මරණය එයින් ලගා විය හැකි නිසා ය. ඒ සම්බන්ධයෙන් සමහර ක‍්‍රිස්තියානි නිකායන් අමු අමුවෙම වැරදි කරුවන් වෙයි.

යම් විශ්වාසයක් නිසා සමහර ලෙඩ සුව වීම ඉක්මන් විය හැක්කේ වුව ද (ඒ විශ්වාසය කෙතරම් අන්ධ වුව ද) සමහර ලෙඩ සදහා බේත් නොගැනීමෙන් කෙනෙක් ඉක්මණින් මරුතුරුලට යා හැකි ය. එය දෙවියන්ගේ කැමැත්ත හෝ පෙර කරුමයට බැර කර අත පිසදා ගැනීම එවන් විටක මේ අන්ධ අනුගාමිකයින් බොහෝ දෙනෙකුගේ සිරිත ය. ඒ නිසා ම මේ විශ්වාසයන් අභියෝගයක් නොමැතිවම සමාජයට වින කරමින් රැදෙයි.

මෙය ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් පමණක් නොව දුර්වල ග්‍රාමීය වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් ද සත්‍යය වන්නේ ය.

එක් අතකට මෙයට වගකිව යුත්තේ ආගමත් ‍විද්‍යාවත් එකට තබා උගන්වන පාසැල ය.

ආගම පාසලෙන් වෙන් කරන්නේ නම් සිසුන් තමන්ගේ ගැටලුවලට උත්තර සෙවීමේදී මීට වඩා හොදින් විද්‍යාත්මක ප්‍රවේශයන්ට පුරුදු වන්නට ඉඩ තිබේ.

එහෙම වුනොත් බොරු පාස්ටර්වරුන්ටවත් විශ්වශක්ති කාරයින්ටවත් වෙනත් බහුභූත මැජික් වෙදැදුරන්ටත් රැවටෙන මිනිසුන් ගණන ප්‍රමාණයෙන් අඩුවනු ඇත්තේ ය.

මිත්‍යා විශ්වාසයන්, ආගම, පාසල හා විද්‍යාව පිළිබද අලුත් අර්ථකථනයන් සෙවීමට සමාජයක් හැටියට ඉදිරිපත් විය යුතු කාලය පැමිණ තිබේ යැයි අපට හැගෙන්නේ ඒ නිසා ය.

ඒබ්‍රහම් ටී කොවුර් කළ කාර්යය කරන්නට මහාචාර්ය කාලෝ ෆොන්සේකා කළ කාර්යය කරන්නට සමත් බුද්ධිමතුන් ඕනෑ කර තිබේ.

(මෙම වැදගත් සංවාදය අරඹන්නට පාර පෙන්වා දුන් පොල්හේන්ගොඩ ළමයාට අපගේ විශේෂ ස්තුතිය හිමිවිය යුතු ය).

Advertisements
Posted in: Uncategorized