බෞද්ධයින්ගේ කුහක වෘත්තිය

Posted on June 25, 2010



ලංකාවට බුදුබණ ගෙනාවෙ අද වැනි පොසොන් පෝ දිනක ය. එසේ ගෙනෙන ලද බුදුබණ ලංකාව තුළ ඇති කළ වෙනස මහත් ය. එහෙත් කාලයත් සමග බුදු බණ තමන්ට අවශ්‍ය පරිදි නැවත සකස් කර ගැනීමට බලවත්තු සමත් වූහ. ඒ නිසාම අද ඇත්තේ පිරිසිදු බුදුදහම සිය ජීවිතය කරගත් දේශයක් නොවෙ. එය කොඩියක් කොට ලෙලවන දේශයකි.

මෙ තත්වය ගැන කම්පා වූ කෙනෙක් අදට වසර 75ට පොරොතුව ඊට එරෙහිව සිංහනාදයන් පැවැත්වූහ. ඒ බුදුදහම නැවත ප‍්‍රතිපෝෂණය කිරිමෙ අරමුණිනි.

ඒ ශ්‍රේෂ්ඨ ලාංකීය පුත‍්‍රයා මුනිදාස කුමාරතුංග ය.

අප එතුමා කලින් ද මෙහි උපුටා දක්වා තිබෙ. එහෙත් ඉවරයක් නැති දායකත්වයක් එතුමාගෙන් ලද හැකි නිසාම නැවතත් එතුමන්ව කැඳවන්නට සිතුවෙමු.

අප අපගේ බ්ලොග් අඩවියෙන් සටන් කළ දෑ වෙනුවෙන් මුනිදාස කුමාරතුංගයන් වසර 75ට පෙර පෙනී සිටිය හැටි දකින අපට එක්වර සතුටකුත් දුකකුත් ඇතිවෙයි.

සතුට අප දකින සේ ඒ හැටියටම වාගේ දුටු හෙළ විරුවන් ඉතිහාසයේ පවා සිටි නිසා ය.

දුක වසර 75ක් ගත වීත් ඒ සටනම කිරීමට අපට ද සිදුව තිබීම නිසා ය. දුක වඩාත් දැඩිව නැගෙන්නේ එදා එසේ කුමාරතුංගයන් සටන් වදින විට එතුමා දේශප්‍රේමීයෙකු ලෙස සළකා ජනතාව එතුමන්ට උඩගෙඩි දුන් අතර අද එම සටනම කරන අප දේශද්‍රෝහීන් ලෙස සළකා කටයුතු කරන යුගයක් එළැඹ තිබීම ය. අද අපගේ බ්ලොග් සටහන වෙන්වන්නේ තවත් එවැනි කුමාරතුංගයන් හා අප එක්ව දකින කාරණයක් ගැන ඔබට කියන්නට ය. කුමාරතුංගයන්ගේම වචන වලින් ඊට සවන් දුන මැනව.

“….බෞද්ධයෝ ස්ව සමයය හුවා දක්වන්නෝ බොහෝවිටැ අන්‍ය සමයයන් පමණට වඩා හෙළා දකිති. මේ වර්ථමාන බෞද්ධයින්ගේ මැ සිරිතක් නොවේ. පුරාතනයෝ ද පරවාදයන් මහත් විහිළු කොටැ දක්වන්නට හැකි පමණ වැර වැඩූහ. මහා වීරාදීන් ගැනැ බෞද්ධ ග්‍රන්ථයන්හි ලියැවුණු දෑ බලන කලැ මේ කීමේ සත්‍යතාවය මනා වැ වැටැහේ. අනුන්ගේ කුහක වෘත්ති එතරම් මහත් කොටැ දක්වන්නාවූ බෞද්ධයින්ගේ කුහක වෘත්තිය කෙබදු ද?

වාසියට වැටෙන තන්හිදී නජච්චා වසලො හොති යනු මහත් ආටොපය දක්වමින් කියන්නට මැළිවන්නෝ බෞද්ධයින් අතරැ නොලැබෙති. එහෙත් අප නිබන්ධ කාර ජයවර්ධනන් කියන්නාසේ හවුරුදු දෙදහසක් බුද්ධ ශාසනය පැවැතුණු පසු ද ලංකායෙහි රොඩී ගැහැනිය රොඩී ගැහැනිය මැ යැ. අනෙකක් තබා ඇයට සම්පූර්ණ වශයෙන් විළි වසාගැන්ම ද තහනම් යැ. ජයවර්ධනයන් උපහාස මුඛයෙන් කියන්නාසේ, ඇය අන් කවර පරිද්දෙකින් කමනීය වුව ද අපගේ ශ්‍රේෂ්ඨයන්ගේ ගැහැනුන් ඉන්නා තැනෙක පස් පෑගීමට ද ඕ සුදුසු නොවන්නී යැ. “අනේ, හාමුදුරුවනේ, මේ හිගා කන රොඩී ජාතියට හිගමනක් ලැබෙන්න” යනු දැන් කොළොඹැ වීථිවලැ ද ඇසේ. අතෙහි දොසෙක් නැති, පයෙහි දොසෙක් නැති, ඇසෙහි කනෙහි වරදෙක් නැති, ඇතුළතැ ලෙඩෙක් නැති, එසේ කලැ හැයි හිගන්නේ? හිග කන ජාතියේ උපන් හෙයිනි. හොද යැ, බුද්ධ ශාසනය නිර්මල වැ පවත්නා රටෙහි බුද්ධාවවාදය පිළිපදිනා සැටි? බුදුහු නජච්චා වසලෝහොති යැයි සත්‍යයක් මැ වදාළහු නම්, ඔවුනට මෙතරම් නින්දාවෙක් අබෞද්ධයින් අතිනිදු නොලැබේ.

නජච්චා වසලොහොති යන්න වැඩිවශයෙන් මැ බොරු බව හගවන්නෝ කවරහුද? බුදු බණ නොදන්නෝ නොමහණෝද? නොවෙති. බුදුබණ මැනවින් උගත්, ලෙවි සැප පියා පැවිදි වූ, අප නිවන් දක්කන්නට රෑ දෙවෙහි නොයෙක් වෙහෙස ගන්නා බුද්ධ පුත්‍රයෝ යැ. හින්නකුල වූ නොපැවිද්දෝ එක් වැ වසන්නට පොහොසත් වෙති, පැවිද්දෝ නොපොහොසත් වෙති. පැවිද්දන් අතරැ නිකාය භේදයෙකුදු වෙයි. එහෙත් කුල භේදයට ලක් කළ කලැ නිකාය භේදය නොපෙනෙන තරම් කුඩා වෙයි. කුල දෙකෙකින් එක මැ නිකායෙහි මහණ වූ දෙ දෙන කුල භේදය සලකා නිකාය භේදය මතක නැති කෙරෙති. බුදු රජුනි, බලා වදාළ මැනවි, ඔබගේ ශාසනය අද ලක් දිවැ කො තරම් පිරිසිදු වැ පවතී ද යනු. මෙබදු මහණුන් විසින් දක්වනු ලබන මාර්ගයෙකින් ගිය හැකි දෙව් ලොවෙක් බඹ ලොවෙක් නිවනෙක් වේ නම් සැබැවින් ඒ සියල්ල අතිභයංකර වියැ යුතු යැ….”

කුලය කල් ඉකුත්ව ගිය සාධකයක්ව තිබියදීත් මේ බුදුන්ගේ දේශයේ එය තවමත් හිස මත තබා ගෙන ඇවිදින බොහෝ ජනයා සිටින්නේ කෙසේ ද? බුදුන්ගේ දේශය සැබෑ ලෙස අවමානයට පත්කරන්නේ බිකිණි ඇදගත් කෙල්ලන් පිරිසක් බුදු පිළිමයක් ඉදිරියේ තබා ගෙන නටවනා ගායක ඒකොන් විසින් ද කුණුවලින් ඔලුව පුරවා ගෙනම බෞද්ධයින් යයි තමන්වම හදුන්වාගන්නා ජනයා විසින් ද?

බුදුන්‍ට වැඩි අවමනක් ලැබෙන්නේ බුදු බණට පිටු පෑමෙන් ද බුදු පිළිමයකට පිටු පෑමෙන් ද?

විමසන්නට අකමැත්තක් බියක් නැති, විමසන්නට හැකියාවක් ඇති, සෑම බෞද්ධයෙකුම නැගිය යුතු පැනය එය නොවෙද?

පොසොන් දිනය තරම් අපගේ (ලාංකික බෞද්ධයින්ගේ) ඇතුළාන්තය විමසිය යුතු දිනයක් තවත් නැත. මේ සටහන ඒ වෙනුවෙනි.

Advertisements
Posted in: Uncategorized