පෝය කිට්ටුවන විට හඳත් සමග මෝරන අමනකම්

Posted on June 24, 2010



මෙ සටහන ඔබ වෙත ගෙනෙන්නේ පොසොන් පෝය වැනි උතුම් පෝ දිනයක් ද කෙළෙසන්නට තැත් කරන සඝ පරපුරක් සිටීම ගැන කම්පාවෙන් ය. සංඝයාගේ අමනකම්වල  කෙළවරක් නොදකින්නට තරම් අප රටෙ බෞද්ධයින් පව් කර ඇති බව නම් මෙයින් තවදුරටත් ඔප්පු වන්නේ ය.

මතට තිත තියා රටම හිනැස්සූ ආණ්ඩුවට පසු ඊළග ලොකුම විහිළුව කරන්නට සංඝයා වහන්සේ නමක් පෙළඹී ඇත්තේ ඒ නිසා ය. එය මතට මෙන්ම බොරුවට ද තිත තියන්නට පොසොන් පෝයෙන් උදාවෙන සතියක් ප‍්‍රකාශයට පත් කරවීමෙනි.

එක අතකට එහෙම හිතන්නට ඇත්තේ පෝයට මස්විකුණන්නත් මත්පැන් විකුණන්නත් තහනම් කරන්නට පුලුවන්නම් එයම උදව්වට ගෙන බොරුකීමෙන් ද වළක්වන්නට පුලුවන් වනු ඇතැයි යන තර්කය අනුව ය.

එක් ගොන් තර්කයක් තවත් ගොන් තර්ක කීයකට නම් මග පාදනවා දැයි මෙයින් පෙනෙන අතුරු කාරණයයි.

බොරු කීමෙන් වැළකී ඉන්නට සතියක් යෝජනා කරන්නේ උදේ හවස පන්සිල් ගන්නා බෞද්ධයින්ට ය. එතැනම ඇත්තේ විහිළුවකි.

ඇයි මෙ බොරුවෙන් විතරක්? ඉතිරි පස් පව් බොරුව තරම් භයානක නැති නිසා ද? නැතිනම් බොරුව තරම් පැතිරි නැති නිසා ද?

සමහරවිට මතට තිත තියා අවසන් නිසා පස්වැනි සිල්පදය අදාළ නැත්තේ යයි සිතුවා වත් ද? යුද්ධය අවසන් වීඇති නිසා කොහොමටත් පළමු සිල් පදය රැකෙනවා යයි සිතුවාවත් ද?  රට සමෘධිමත් නිසා හොරකම් කිරීමට මිනිසුන්ට හේතුවක් නැතැයි සිතුවාවත් ද?කාමයෙහි වරදවා හැසිරෙන ජෝඩු පොලීසියෙන්ම අල්ලන නිසා එය බරපතල මට්ටමෙ නැතැයි උපකල්පනය කළාවත් ද?

මුලු රටම බොරුවක් වී තිබීම ගැන ඇතිවූ කම්පනයකින් මෙහෙම දෙයක් කරන්නේ යයි අපට හිත හදා ගත හැක්කේ මෙවැනි සතියක් ප‍්‍රකාශයට පත්කිරීමෙන් එය හරිගස්සා ගත හැකි නම් ය.

දැන් මෙ සතිය තුළ බොරු කියන මෙන්ම කරන අයට ද කරන්න යන්නෙ කුමක් ද? පොලීසියට අල්ලා ගෙන ගොස් කූඩු කිරිම ද? නැතිනම් දහම් පොලීසියක් අලුතෙන් අටවා එයින් ජනයා කියන දෙයෙහි ඇත්ත නැත්ත විමසීමට විමර්ශන කණ්ඩායමක් දැමීම ද?

මල් බොහෝමයක් තියෙන රටෙ පිච්ච මල්පූජාව විශේෂයක් වන්නා සේ පව් බොහෝමයක් තියෙන රටෙ බොරුව විශේෂයක් වීමත් අහන්න දෙයක් ද?

මෙහෙම ඔනෑ නැති ප‍්‍රශ්න එන්නේ අප වැනි පව් කාරයින්ගේ ඔලුවලට පමණක්ම ද?

ආගම දහම විහිළුවක් කරලීමට කොන්ත‍්‍රාත්තුවක්වත් මෙ සංඝයා වහන්සේලා විසින් ලබා ගෙන තිබෙ ද?

(මෙ බොරු කීමෙන් වැළැක්වීමෙ සතිය ගැන තොරතුරු පලවී තිබුනේ ලක්බිම පුවත්පතේ ය. ඒ ආරංචිය අපට එව් ඉන්දික සොහොයුරාට අපේ ස්තුතිය. ඔහු කියා තිබුනාක් මෙන් ලියන්න නිමිති අපට අඩුවක් නැත. අඩු ලිය ලියා ඉන්න වෙලාව විතර ය.)

Posted in: Uncategorized