ඒක අප නෝන්ඩි වුනා වගේ නොවේය!

Posted on June 22, 2010



ඌව පළාතේ දේශපාලනඥයෙක්ගේ රුවක් සහිත නවීන අංක රහිත සුඛෝපභෝගී රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටියේ පොලීසියේ රථවාහන අංශයේ සාජන් වරයෙකු විසිනි.

ඇත්තටම මේ අවස්ථාව සැළකිය හැක්කේ බලයට බලය එකතුවී බලය විසින් බලය වහගෙන ඒ වසා ගත් බලයම පැතිරවීමට ගත් තවත් එක් සංසිද්ධියක් ලෙස ය.

මතට තිත තියෙන ආණ්ඩුවක් යටතේ වුව මෙහෙම දේ සිදුවිය හැකි ය. එයට එක් හේතුවක් වනුයේ අපි වවමු රට නගමු වැඩසටහනක් ද සමාන්තරව ක්‍රියාත්මකව පවතින නිසා ය. ඒ යටතේ වගා කරන ලද ගංජා ගෙදර තියා ගෙන වැඩක් නැත. විකිණීම සදහා ප්‍රවාහනය කළ යුතු ය. මතට තිත කිව්වහම සමහරු හිතන්නේ සම්පුර්ණයෙන් තිබිය යුතු ය කියා ය. ඇත්තටම එහෙම එකක් නැත.

(අපි වවමු රට නගමු වැඩ සටහන ද බොහෝ දෙනාගේ විවේචනයට ලක්වූවකි. අලුතින් කෘෂිකර්ම අමාත්‍යංශය බාර ගත් ඇමතිවරයා පවා කීවේ ගහපු බැනර් ටික හා පවත්වපු උත්සව ඇරුණහම මුකුත් සිද්ධ වී නැති බව ය. එම වැඩ සටහන අරඹා වසර 5 ක් ගතවූ තැන වෙනදා රට තුළ නිපදවූ සමහර නිශ්පාදන පිටරටින් ගෙන්වීමට සිදුවූයේ ඒ නිසා යයි තව සමහරු කියති. එහෙත් අපට සහසුද්දයෙන් කිව හැක්කේ ගංජා සම්බන්ධයෙන් ප්‍රගතිය ඊට හාත්පසින්ම වෙනස් වූ බව ය. ප්‍රවාහනය සදහා යොදා ගන්නා වාහනම ඊට සාක්කි දරන්නේ ය.)

බලවත් අයට අංක රහිත වාහන භාවිතා කිරීමට අප රටේ සු‍විශේෂී බලයක් ඇත. එහෙම රථයක් නැවැත්වීමෙන් පොලීසිය කර ඇත්තේ බලාහාත්කාරයකි.

මාර්ග බාධකයක් අභියස දී නවත්වන ලෙස කරන ලද සංඥාව නොපිළිපැද ගිය නිසා එය පසුපස හඹායන්නට පොලීසිය කටයුතු කර ඇත. එය තවත් ඕනෑ නැති වැඩකි.

වාහනය කෙසේ හෝ නවතා ගෙන ඇතත් ඇතිවූ වෙඩි හුවමාරුවකින් හඹා ගිය රථයේ හිටි පොලිස් කාරයෙක් තුවාල ලබා ඇත. (ඕනෑ නැති වැඩ කරන්නට ගියහම ඔහොම ඒවා වෙනවා ය. අපේ මිනිසුන් පාඩම් ඉගෙන ගන්නේ කවදා ද?)

සැකකරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත. ඒ සමහරවිට හඹා ගිය පොලීස්කාරයින්ගේ අවාසනාව නිසා විය හැකි ය.

අප මේ බලා සිටින්නේ පැනලා දෙන්න හදන මේ පොලිස් නිලධාරීන්ට පාඩම් පිණිස ස්ථාන මාරු ලැබෙන්නේ කවදා ද කියා ය.

අදාළ දේශපාලනඥයා මෙයට සම්බන්ධ ද නැත් ද යන්න පිළිබදව ද පුළුල් පරීක්ෂණයක් කරන බව පොලීසිය ප්‍රකාශ කළැයි මේ ගැන වාර්ථා කළ දිවයින පුවත්පතේ සටහන්ව තිබිණි. මාරුවීම් ලැබිලා නතර වුනොත් හොද යයි අපට සිතුනේ ඕක අහලා ය.

පත්තරේට ලිව්වාට ඕක ඔහොමම කෙරෙන එකක් නැතැයි අපි සිතමු.

මෙහෙම දෙයක් වුනා කියලා බලය තියෙන අයට අංක රහිත වාහන භාවිතා කරන්නට තියෙන ඉඩත් ඒවා මාර්ග බාධක අභියස නොනවත්වා වේගයෙන් ධාවනය කරන්නට තියෙන අයිතියත් නවත්වන්නට එපා ය. එහෙම වුනොත් අපේ නියෝජිතයින්ට වෙන්නේ නෝන්ඩියකි.

ඒක අවසේස අප නෝන්ඩි වුනා වගේ නොවේ ය.

Posted in: Uncategorized