ෂෙල් ගෑස් කොටස් ආණ්ඩුව විසින් මිලදී ගැනීම

Posted on June 20, 2010



ෂෙල් සමාගමේ ‍බහුතර කොටස් ආණ්ඩුව විසින් මිලදී ගන්නට යන්නේය යන කතාව තේරුම් ගත යුත්තේ කෙසේ ද? මේ ඒ සදහා ගන්නා උත්සහයකි.

ෂෙල් ගෑස් සමාගම සිය කොටස් විකිණීමට තීන්දු කර තිබීම නිසා මිසක ෂෙල් ගෑස් මිලදී ගැනීමේ අදහසක් ආණ්ඩුවට තිබුනේ නැත. ඒ නිසා මෙය ආණ්ඩුවේ වුවමනාවටම සිදුවන්නක් නොවේ.

ෂෙල් ගෑස් සමාගම මෙසේ සිය කොටස් විකිණිමට තීන්දු කර ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි පැහැදිලි කර නැත. ඇත්තටම හේතුව කෙළින්ම කීවේ නම් ඒ කොටස් ගැනීමට ඉදිරිපත් වන අයගේ අඩුවීමක් වෙතැයි සිතූ නිසා එසේ නොකළා වන්නට පිළිවන.

මේ තීන්දුවට ‍හේතුවන්නට ඇත්තේ කුමක් ද? ආණ්ඩුවේ දේශපාලනය වුවමනාවන් සදහා ගෑස් මිල තීරණය කෙරෙන වටපිටාවක සමාගමට ලාභයක් සහිතව පවත්වා ගෙන යා නොහැකි කම මීට හේතු වන්නට පුලුවන.

ආණ්ඩුවේ දේශපාලන තීන්දුවලට ගරු කරන බොහෝ රාජ්‍ය ආයතන මේවන විට ඇත්තේ හුස්ම නැවතී මිය යන මට්ටමක ය. ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් පොම්ප කරන තාක් ඒවා පවතිනු ඇත. හරියට කෘතිම ශ්වසනය දෙමින් මොළය මිය ගිය රෝගියෙකුගේ හුස්ම පවත්වා ගෙන යනවාක් මෙනි.

එහෙම වටපිටාවක ජනතාව සංවේදී පාරිභෝගික භාණ්ඩයක් තියෙන සමාගමකට ආණ්ඩුවේ නියමයන්ට කීකරු වීමට සිදුව තිබීම පුදුමයක් නොවේ. ෂෙල් සමාගමට ආණ්ඩුව පවත්වා ගැනීමට වුවමනාවක් නැති නිසාම අවසර ලැබුණු මුල්ම අවස්ථාවේ එහි කොටස් විකිණීමට ඔවුන් කල්පනා කිරීම සාධාරණ ය.

‍එහෙත් බැරිවෙලාවත් මේ තත්වය යටතේ කොටස් මිලට ගැනීමට ඉදිරිපත්වන අය කුණු කොල්ලයට මේ කොටස් ඉල්ලීමට ඉඩ තිබේ. මේ නිසා ෂෙල් සමාගමට අමතරව ආණ්ඩුව ද අමාරුවේ වැටේ.

ඒ ප්‍රධාන ආයෝජකයෙක් අකුලා ගෙන යාම නිසා ය. අනිකුත් ආයෝජකයින් ඒ හිඩස පිරවීමට ප්‍රමාණවත් ලෙස ඉදිරිපත් නොවීමම ආයෝජන වතාවරණය ගැන ඍණ සංඥාවක් සපයන නිසා ය.

ආණ්ඩුව ඒ උගුලෙන් ගැලවෙන්නට මගක් කල්පනා ‍කළේ ය. ඒ මේ කොටස් නිකුතුව මැද්දට තමන්ම පැනීමෙනි. එයින් ආණ්ඩුව කාරණා දෙකක් බලාපොරොත්තුවේ. මෙය අකුලා ගෙන යාමක් නොව ආණ්ඩුවේ වුවමනාවට කෙරෙන්නක් බව ලොවට දැක්වීමට ය.

එයින් ආයෝජකයින් වෙත යන්නේ මිශ්‍ර පණිවුඩයකි. එකක් ආණ්ඩුව ඕනෑ නැති හැම තූත්තුකුඩියටම අත ගහන්නට කල්පනා කරන බවයි. අනික මෙය ප්‍රධාන ආයෝජකයෙක් අකුලාගෙන යෑමක් නොව දේශපාලන සංවේදී පියවරක් ලෙස ආණ්ඩුව විසින් ගන්නට යෙදුණු එකක් බව ය.

ආණ්ඩුව කල්පනා කරන්නේ දෙවැනි පණිවුඩය ශක්තිමත් කරන්නට ය.

පුද්ගලික අංශයට පවරා දුන් රාජ්‍ය දේපළ නැවත රජයට පවරා ගන්නවා යයි ආණ්ඩුව මේ ගැන කියන්නේ ඒ නිසා ය. එයින් ආණ්ඩුව අනියමින් කියන්නේ පුද්ගලීකරණය කළ ඒවා මිසක වෙන ඒවා ආණ්ඩුව විසින් ගන්නේ නැති බව ය.

(ඒවා ගැනීමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න නොඇසිය යුතු ප්‍රශ්නයකි)

මෙයින් රටේ ‘සමාජවාදී’ ජනතාව වෙත යන්නේ පුද්ගලිකකරණය ආපස්සට හැරවීමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නා බවකි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය නිසා විලිවහා ගත නොහැකිව කෑකෝගස්සන් ගසන වමට මේ නම් එල්ලෙන්නට අපූරු වැලකි.

අතේ සතේ නැතිවත් ආණ්ඩුව ෂෙල් මිලට ගන්නට හදන්නේ මේ සියල්ල සළකා බලා ය. ගන්නේ ඇයි ද යන්න ආණ්ඩුව වෙනුවෙන් කිසිවෙක් නොකියන්නේ මේවා රෙදි ඇදගෙන කියන්නට බැරි නිසා ය.

Posted in: Uncategorized