අධ්‍යාපනය පැණියක් නොවී බලෙන් පෙවිය යුතු තිත්ත කසායක් වූයේ මන්ද?

Posted on June 19, 2010



දරුවන් යනු අප විසින් තළා පෙළා හැදිය යුතු මැටි පිඩකැයි බොහෝ වැඩිහිටියෝ සිතති. ඊටත් එහා යමින් දරුවන් යනු තමන්ගේ ජීවිතය එලිය කරගැනීමට හැකි දේපළක් ලෙස ද සමහර වැඩිහිටියෝ සළකති. දරුවන් අයිති කාට දැයි අසමින් අප සංවාදයට පිවිසියේ එබැවිනි. ඒ සංවාදය තුළ පාස‍ලේ භූමිකාව ගැන ප්‍රශ්නයක් මතුවිනි. අද සංවාදය ඒ ගැන පිළිවිසීමට ය.

උපකල්පන 1

ළමුන් පාසල් යාමට අකමැති ය.

උපකල්පන 2

ඒ පාසල සුන්දර නැති නිසා ය. ඒ නිසා වරද පාසලේ ය.

උපකල්පන 3

ළමුන් පාසල් යාමට අකමැති උන් සහජයෙන්ම සෙල්ලම් කිරීමට කැමති නිසා ය. එහෙම නැතිව පාසලේ වැරැද්දක් නිසා නොවේ ය. දෙමාපියන්ගේ වගකීම වන්නේ ඌ කෑගසද්දී පාසලට බාර දීම ය.

මේ උපකල්පන පිළිබද කතිකාවතක් පැවැත්වීම අවශ්‍ය ය.

පළමු උපකල්පනය ගැන කිව යුත්තේ එය මුළුමනින් නිවැරදි නොවන බව ය. මගේ දරුවා පාසල් ගියේ සන්තෝසයෙනි. ඒ කුඩා කල ය. ප්‍රාථමික පාසලේ ගුරුවරු අතර මානසික ලෙඩ්ඩු සිටියේ නැති තරම් ය. තරමක් වැඩී ලොකුවන විට ඌ නිවාඩු ලැබෙනවා නම් වඩා හොද යයි කීවේ ය. ඒ පාසලෙන් ලැබෙන මෝඩ අදහස් උදහස් ඌට ගෝචර නොවූ බැවිනි. එහෙත් ඌ දැනටත් පාසල් දිගටම යන්නේ ය. ඒ දෙමාපියන්ට කරදර කිරීම නොරිසි යයි ඌ හිතන නිසා විය යුතු ය.

දෙවැනි උපකල්පනය ගැන කිව යුත්තේ එය පළමු උපකල්පනය සත්‍යය වන තැන්වල බොහෝවිට සත්‍යය වන බව ය. පර පීඩක ගුරුවර ගුරුවරියන් තුළ ඇති මානසික ‍අසහනයන්ගේ ගොදුරු බවට පත් වන ළමුන්ට පාසල එපා වේ. මේවා ගැන අත්දැකීම් දරුවන්ට පමණක් නොව බොහෝ දෙමාපියන්ට ද ඇත.

තුන්වෙනි උපකල්පනය අතිශයින් දෝස සහගත ය. ක්‍රීඩාවක් ලෙස වින්දනය කළ හැකිව තිබෙන අධ්‍යාපනය තිත්ත කසායක් බවට පත් කර ගෙන ළමුන් කසාය බීමට අකමැති යයි කීම අතිශයින් බොළද තර්කයකි. හරි පුදුම ඉස්කොලේ නැමැති පොත කියවන ලෙස මෙසේ සිතන සියලු දෙනා ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. ඒ සමගම තාගෝර් ගොඩනැගූ ශාන්ති නිකේතනය පිළිබදව ද කියනව ලෙස වැඩිමනත් ඉල්ලා සිටිමි. ඒ දෙකින්ම කියවෙන්නේ අවශ්‍ය නම් පාසල දරුවාගේ ප්‍රියතම ස්ථානය කිරීමට ගුරුවර ගුරුවරියන්ට හැකි බව ය.

මගේ වෑයම මා නොලද මගේ දරුවන් නොලබන ඒ ඉස්කොලය පුලුවන් නම් මගේ මුණුබුරන්හට දයාද කොට දෙන්නට ය.

රට යන විදිහට නම් ඊට පොටක් පෑදෙන බවක් පෙනෙන්නේ නැත. තමන්ගේ වැඩය කෙරෙන්නේ නම් ජූජක බමුණාට නොව ඊටත් වඩා නපුරෙකුට වුව දරුවන් දුන්නාට කමක් නැතැයි සිතන අම්මලා තාත්තලාගෙන් අපට අඩුවක් නැති බැවිනි.

ඒ වුනත් අප බලාපොරොත්තු අත්හරින්නට සූදානම් නැත. ‍‍ඒ දරුවන්ට අප තුළ ඇති ඇල්ම නිසාවෙනි.

Posted in: Uncategorized