දරුවන් අයිති කාට ද?

Posted on June 14, 2010



දෙමාපියන් විසින් දරුවන් බිහිකර උන් ලොකුමහත් වන තුරු බලා කියා ගන්නා බව ඇත්තකි. ඒ නිසාම උන්ට දරුවන් අයිති ද?

(අම්මලා තාත්තලා ට නැත්නම් කාට ද …කෝ උන් අයිති?)

අප මෙ ප‍්‍රශ්නය නගන්නේ කුඩා දරුවන් මහණ කිරීම සම්බන්ධයෙන් පැවති බ්ලොග් සංවාදය තුළ අප හිතේ මෙය අතුරු ප‍්‍රශ්නයක් ලෙස පැන නැගුණු නිසා ය.

(ඊළගට මොකාට තෝ එන්නෙ?)

දරුවන් ඉගෙන ගත යුත්තේ කුමන විශය ධාරා ද උන් කළ යුත්තේ කුමන රස්සාව ද කසාද බැඳිය යුත්තේ කුමන තැනැත්තා හෝ තැනැත්තිය ද යන උන්ගේ ජීවිතයේ ඉතාම වැදගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් දෙමාපියන්ගේ භූමිකාව කුමක් විය යුතු ද?

ඒ තීරණ සම්බන්ධයෙන් දෙමාපියන්ට මැදිහත් විය යුතු ද එසේ නම් ඒකවර ආකාරයකට ද?

දෙමාපියන්ට ඇත්තේ උවදෙස් දීමෙ භූමිකාවක් පමණ ද? තමන්ගේ අනාගතය ගැන තීන්දු ගැනීමෙ වගකීම තරුණයින්ට පිරි නැමිය යුත්තේ කුමන වයසේ ද?

(මෙ හදන්නෙ තරුණ කොල්ලො කෙල්ලො ටිකත් නැති නාස්ති කරල දාන්න එන්ජීඔ කොන්ත‍්‍රාත්තුවක්)

රටේ ආණ්ඩුව දැන් ඇගිලි ගහනා තරමටම දරුවන්ගේ ජීවිතවලට ඇගිලි ගැසීමේ අයිතියක් දෙමාපියන්ට ද තිබිය යුතු ද? නැත්නම් ඊට වඩා වැඩි අයිතියක් දෙමාපියන් සතු ද?

(උඹ මේ කරන නොසන්ඩාල වැඩෙන් කවද හරි උඹට උඹේ දරුවත් අහිමි වෙනව)

රටෙ නීතිය මෙ ගැන ඉතා පැහැදිලි ස්ථාවරයක් දරයි. වයස 18 න් පසු හැම පුරවැසියෙකුම වැඩිහිටියෙකු ලෙස සළකන එය දෙමාපියන්ට ඉන් එහා බලපෑමක් කිරීමට නීතිමය අයිතියක් නැතැයි කල්පනා කරයි.

(ඔය කියන්නේ බටහිරින් ණයට ගත්තු රෝම ලන්දේසි නීතිය ගැන නේද?)

තරුණයන් සතු මෙම නිදහස කොල්ල කන රාජ්‍ය යන්ත්‍රයක් තිබීම වෙනම කරුණකි. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ නීතිය ගැන නොදන්නා කම ය. නීතිය රෝම ලන්දේසි වුනාට ක්‍රියාත්මක කරන්නේ අපි අපිම බැවිනි.

(ඔවු ඉතින් සුද්දන්ගෙම වරුණෙ කියපං)

එහෙත් යථාව කුමක් ද? මෙය දෙමාපියන් විසින් සමහර විට රාජ්‍ය යන්ත්‍රය තරමටමත් නැත්නම් ඊට වඩා දැඩි ලෙසත් හොර රහසේ උල්ලංඝනය කරනු ලබන බව යි.

(බිදවපං තරුණ පරපුර අම්මල තාත්තලත් එක්ක. එත‍කොට නෙ උඹට නින්ද යන්නෙ)

මට පෙනෙන හැටියට නම් අද තරුණයින් තමන්ගේ දෙමාපියන්ට ද වඩා ලෝකයට විවෘත ය. ඒ නිසාම දෙමාපියන් සතු දැනුම ඉක්මවන දැනුමක් ඔවුන් සතු ය. එවන් වටපිටාවක ඔවුන්ගේ ඉලක්ක හා ජීවිත දැක්මට ද වැඩි ඉඩ කඩක් දිය යුතු ය යන්න අපේ හැගීම ය.

(වඳුරට දැලි පිහිය දීපං)

එහෙත් කණගාටුවට කාරණය නම් විසි එක්වෙනි සියවසේ දෙමාපියන් විසින් ද තම දරුවන් තමන්ගේ දේපල ලෙස සළකනු ලැබීම ය.

හරියට වෙස්සන්තර රජ තම දරුවන්තමන්ගේ දේපළ යයි සළකා වෙවැලින් පහර දෙමින් උන්  රැගෙන ගිය ජූජක බමුණාට දරුවන්ගේ කැමැත්තවත් නොවිමසා බාර දුන් ගානට ය.

තමන්ගේ දාන පාරමිතාව සම්පූර්ණ කර ගැනීම සදහා තම දරුවන්ගේ අනාගතය එසේ කළ ගුණ නොදත් තිරි‍සනෙකුට පැවරීමට වෙස්සන්තර රජ්ජුරුවන්ට අයිතියක් නැතැයි මගේ අදහස ය.

(ඔන්න පැන්න මල්ලෙන් එළියට! බුද්ධාගමට කෙළවන්නම තමයි උඹ එන්නෙ)

කිරි දරුවන් මහණ කිරීම සාධාරණය වන්නේ ඒ වෙස්සන්තර දැක්ම හරහා ය.

අප විසින් ප‍්‍රශ්න කළ යුත්තේ එම වෙස්සන්තර දැක්ම ය.

(ඇත්තටම කියපං කීයක් හම්බුවුනා ද මෙක ලීවට)


Posted in: Uncategorized