මගේ දරුවන් දහම් පාසල් නොයනු ඇත්තේ ය!

Posted on June 8, 2010



දරුවන් සුමගට යොමු කිරීමට උනන්දුවක් තිබූ බොහෝ දෙනෙක් අප විසින් ලියූ පෝදා රති කෙළියට අතුරු තහනම් නියෝගයක් ගනිමු ද යන බ්ලොග් සටහන පිළිබදව අප සමග උරණ වූහ. අප ඒ සටහන ලියුවෙ මාතර දිසාපති කාර්යාලය විසින් ටියුෂන් තහනම් කිරීමට ගෙන තිබූ තීරණයක් ගැන දැකීමෙනි.

අපේ බ්ලොග් සටහන්වලට මෙ ගලන ගග නැවැත්විය නොහැකි ය. ළගදී පැවැත්වූ ප‍්‍රධාන අමාත්‍ය සමුළුවෙ තීරණයක් ගෙන තිබුනේ ටියුෂන් තහනම මුලු රටෙම බලපවත්වන පරිදි පැනවීමට ය.

අපත් කැමති දරුවන් සුමගට යොමුවනු දැකීමට ය.

එසේ තිබියදී අපත් ඒ කදවුරත් අතර මෙවැනි පරස්පරයක් තිබෙන්නේ කෙසේ ද? එය විමසීම වටින්නේ ය.

මට පෙනෙනා හැටියට ප්‍රශ්නය ඇත්තේ දරුවන් සුමගට යොමුකළ හැක්කේ කෙසේ ද යන කාරණය සම්බන්ධයෙනි. උන් සිතනා ලෙස ඒ කළ හැක්කේ දහම් පාසල් වෙත ගාල් කොට දරුවන්ට වැදි බණ කීමෙනි. රටේ නායකයින් ද දරුවන්ගේම දෙමාපියන් ද උන් ගේ ගුරුවරුන් ද නොකරනා දේ දරුවන්ට කරන ලෙස කීමෙනි.

අප කියන්නේ දරුවන් ඉගෙන ගන්නේ ආදර්ශයෙන් බව ය. උන් රට තොටේ වෙන දේ දෙස බලා සිටිති. එයින් උගනිති. දහම් පාසලේ කියනා දේ රටේ සිදු නොවන විට උන්ට එක්කෝ ඇතිවන්නේ කල කිරීමකි. නැත්නම් මේ වංචනික ලෝකයට වංචනිකයෙකු ලෙස හැර එකතු විය නොහැකි බවට ලබා ගන්නා ඉගෙනුමකි. ඒ දෙකින් කවර එකකින් වත් හොඳක් නම් සිද්ධ වෙන්නේ නැත.

කලකිරීම මෙහෙයවන්නේ කැරලි ගැසීමට ය. එහෙම කැරලි ගණනාවක් අපි දුටුවෙමු.

දෙවැන්නෙන් ඇතිවන්නේ අසංවේදි කුහක වංචනිකයින් පිරිසකි. උන් හෙමින් සීරුවේ කුණු ගොඩටම කුණක් හැටියට එකතු වෙති. ඒ ද අප අත්දැක ඇත්තෙමු. එවැනි මිනිසුන්ගෙන් ද ලංකාවට අඩුවක් පාඩුවක් නැත.

දහම් පාසලෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුඩා අවසරයක් දුටු තැන බලය තියෙන වැඩිහිටියන්ට වැදීමට ලක ලෑස්ති වී සිටින පිරිසක් නම් ඒ ද අපට ඉහත කාරණා දෙකට අමතර වශයෙන් දැක ගන්නට හැකි ය. පත්වීමක් ගන්නා වැඩිහිටි දරුවන් ද සමහර විට පත්වීම් දෙන පුබ්බරුවන්ටත් වදිනු අපි දැක ඇත්තෙමු.

දරුවන් සුමගට ගැනීම යන්නෙන් අපි නම් ඊට වඩා ‍බොහෝ දේ අපේක්ෂා කරමු.

තමන් වටා සිටින සමස්ථ සමාජයට (දෙමළ ක්‍රිස්තියානි වැනි සමා‍ජයෙන් බැහැර කරනු ලැබ සිටින ජනතාවට ද උන්ගේ අභිප්‍රායන්ට ද) සංවේදී වී පිරිසක් ඔවුන් තුළින් බිහිවෙතැයි ද ඒ තුළින් සමාජ සංහිදියාවත් සාමයත් බිහිවෙනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු.

තමන්ගේ වෘත්තිය ගරුත්වය රැකගෙන ඒ හරහා සමාජයට තම යුතුකම් ඉටුකිරීමට නොපැකිළෙන පිරිසක් බිහිවෙනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු. ඒ හරහා රටේ ආර්ථික වෘද්ධියත් සෞභාග්‍යත් බිහිවෙනු ඇතැයි ද මිනිසුන්ට තමන්ගේ සේවාවන් අල්ලස් දීමෙන් බලපුලුවන්කාරයින් වන්දනාවෙන් තොරව ලබා ගත හැකි වනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු.

ඒ සදහා සිංහල බෞද්ධ ලෙස කොටු ගසා හදා ගත් සීමාවන් ඉක්මවිය යුතු ය.

දහම් පාසලෙන් නොකෙරෙන්නේත් ඒක ම ය.

මගේ දරුවන් දහම් පාසල් නොයනු ඇත්තේ ය. ඒ උන් ලවා වන්දවා ගැනීමට හෝ උන් ලවා මගේ මහලු ජීවිතය කරදරයකින් තොරව ගෙවා ගැනීමට හෝ මා අපේක්ෂා නොකරන බැවිනි.

උන් පටු අදහස් නම් පවුරින් වෙන් කර තිබෙන ලෝකයෙන් කුඩා කෑල්ලක් ලෝකය යයි
දකිණු මා නොරිස්සන බැවිනි.

උන් කුහකයින් හා වංචනිකයින් කිරීමට මගේ අබමල් රේණුවකවත් ආසාවක් නැති බැවිනි.

උන් කොදු නාරටි නැති බලය ඉදිරියේ දෙකට නැමෙන පනුවන් කිරීමට අපට කැමැත්තක් නැති බැවිනි.

එහෙත් මේ සියල්ල දැන දැනත් කෙනෙකුට තම දරුවෙකු දහම් පාසල් යවන්නට අවශ්‍ය නම් ඊට තිබෙන අයිතියට අප ගරු කරන බවත් ඒ සමගම කිව යුතු ය.

එසේ නම් අප පෝදා හා ඉරිදා උදයේ ටියුෂන් තහනමට විරුද්ධ වූයේ ඇයි? ඒ මිනිසුන්ගේ නිදහසට ආණ්ඩුව අත පොවන ද නිසා ය. එවැන්නක් අවශ්‍ය යයි දෙමාපියන්ට හැගේ නම් එය ගුරුවරුන් හා සම්මුතියෙන් මිසක නීතියෙන් ඇතිකළ යුතු එකක් නොවන නිසා ය. ඒ තුළ වෙනත් ආගමිකයින්හට ද යුක්ති යුක්ත වූ කාරණයක් සම්බන්ධයෙන් අනවශ්‍ය වැට කඩොලු බැදෙන නිසා ය.

ඇත්තටම අප පළ කළේ විරුද්ධත්වය පමණක් නොවේ. මේ තීන්දුව තුළින් මතුවන හාස්‍යයක් ද ඇතැයි යන කාරණයයි. රට විහිලුවක් කරගන්නවාට අප කැමති නැත. අද ‍නැතත් හෙට ලංකාව ගැන ආඩම්බර විය හැකි කෙනෙක් වීමට අපගේ ද කැමැත්තක් ඇති නිසා ය.

බොහෝ දෙනාට අපව තේරෙන්නේ නැත. උන් අපව තේරුම් ගන්නට උත්සහයක් දරන්නේ ද නැත. එහෙත් වඩාත් සොදුරු ලෝකයක් පතා අපි දිගටම සටන් වදින්නෙමු.

Posted in: Uncategorized