උන් සැබෑ ලෙසම දේශද්‍රෝහීන් ය

Posted on June 6, 2010



මං නම් කැමති සුදුපාට කාර් එකකට බිරිද කියවමින් සිටි පත්තරය ඉවත දමමින් තොදොල් වෙන්නට වුනා ය.

අයියෝ තාත්තෙ ගන්නවනම් රතුපාට එකක් ගන්න. සුදුපාට හැම තැනම තියෙනවනෙ. පොඩි එකා කාර් එකේ සද්දයකින් හිටි හැටියේ අප ඉදිරියේ ප්‍රාදුර්භූත වුනා ය.

මේ මොන විකාරයක් ද ගෙදර උන්ට පිස්සු හැදීගෙන එනවා ද?

කොහෙ තියෙන සල්ලි ද හැබෑට කාර් ගන්න.

දැන් ඔය හැමෝම කියන්නෙ ඔයාට එන්ජීඕ වලින් ඩොලර් හම්බු වෙනවය කියල. අනේ හැබෑට තමුසෙට ගිහිල්ල බැලුවොත් නරක ද එහෙම ක්‍රමයකින් වත් කීයක් හරි හොයා ගන්න ඇහැක්ද කියල.

ඇහැක්වත් ඉතිරිවෙයි ද දන්නෙ නැහැ මෙහෙම ගියොත් මං තරහෙන් කීවෙමි.

ණයවෙලා හරි කා‍ර් එකක් ගත්තැයි කියමු (ගෑණිගෙන් බේරෙන්නේ කෙසේදැයි සිතමින්ම) කවුද හැබෑට පෙට්‍රල් ගහන්නෙ?

අයියෝ බියොන්ඩ් ගෙදර සාලෙ මහලොකුවට ‍ෆ්රිඩ්ජ් එකක් තිබුනට ඒකෙ ඇතුළෙ එහෙමකට කියල මුකුත් තියෙනව ද? නිතර එහෙ මෙහෙ නොගියට කමක් නැහැ. ගේ ඉස්සරහ නිකම් පාක් කරල තිබුනත් නම්බු යි නෙ?

ඔය අතරේ මටත් පොඩි බිස්නස් අයිඩියා එකක් ආවේ ය. ඇත්තටම ණය වෙලා හරි කාර් කට්ටක් ගත්තොත් ඩියුටි එක ආයි දාපු දවසක ටිකක් ගානක් තියා ගෙන විකුණුවෑකි එතකොට නම් ගොඩ.

බලාගෙන ගියහම අපේ ආණ්ඩුව කර ඇත්තේ පුංචි අපටත් බිස්නස් එකක් කරගෙන ජීවිතය ගෙන යා හැකි විදිහකි. මේකට පත්තර කාරයෝ මොනවා නම් කීවා ද? මොනවා නොකීවා ද?

මෙහෙම ජනතාව ගැන දුරදිග කල්පනා කරන ආණ්ඩුවක් නම් රටේ තිබුනේ ම නැත.

අයිෆා එකට යන්න බැරිවුනත් මේ දවස්වල හින්දි තීරයේ නලු නිලියන්ගේ සුන්දර මුහුණුවල ආලෝකයෙන් අපේ නෙත් සිත් දෙකම පිරිලා ය. වෙනදා දුප්පත් කමට පැජරෝවක ගිය අපේ මන්ත්‍රීතුමන්ලාට වඩාත් සුඛෝපභෝගී කාර්වල යාමට දැන් වරම් ලැබිලා ය. ඉරිසියාවෙන් නොබලන්නේ නම් ඇත්තටම උන් ඒවායේ නැග යන උජාරුව බලා අපට ද නිරාමිස සුවයක් අත් කරගන්නට පුලුවන.

අහන්න ලැබෙන්නේම හොද දේය. ඇත්තටම අපි වාසනාවන්ත ය. මෙහෙම වෙලාවක දෙනවා යැයි කියූ රුපියල් දෙදහස් පන්සීය ඉල්ලන්නේ අලුගේත්තුරු කළ ගුණ නොදත් පාහරයින් ය.

උන් නම් සැබෑ ම දේශද්‍රෝහීන් ය.

Posted in: Uncategorized