බුදු සමිඳු සැමරීම සඳහා උනුන් පරයා වෙසක් සැරසූ අපේ මොරටු සරසවි ශිෂ්‍යයෝ

Posted on June 4, 2010



මොරටු සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය. තුවාල ලැබූ අය රෝහලටත් සෙසු අය ගෙවල්වලටත් හැරලවා සරසවිය වසා දමා ඇත. මෙ ගැටුම හටගෙන ඇත්තේ වෙසක් සැරසිලි සම්බන්ධයෙනි.

සමහර විට එකකුගේ කොඩියක් අනිත් එකාගේ කොඩියට වඩා උස් වූවා විය හැකි ය. නැත්නම් එක කූඩුවක රැල්ලක් අනෙකාගේ එකට වඩා දික් වූවා ද දන්නේ ද නැත. දන්නා කෙනෙක් ඉන්නවා අපටත් දැනගන්නට මෙහි සඳහන් කරනවා නම් හොඳ ය. බුදුන් වැඳීම සඳහා රණ්ඩු විය යුතුවන්නේ ඇයි දැයි දැනගැනීමෙ කුතුහලයක් අපටත් ඇත.

බුදුන් වෙනුවෙන් ගහමරා ගැනීම බුදුන් දකින්නේ කෙසේ ද යන්න වෙනම විසඳිය යුතු ප‍්‍රශ්නයකි.

බුද්ධාගමෙ අනුගාමිකයින් ගැනම කියනවා විනවා මුස්ලිම් ආගම ගැන නොකියන්නේ ඇයි දැයි යන ප‍්‍රශ්නය ද මෙහෙම ප‍්‍රශ්න අහන්නට ගිය විට ඉල්ලන් කන්නට වෙන ප‍්‍රශ්නයකි. අප ඒ නිසා ඒ ගැන කතා නොකර සරසවිය ගැන කතා කරමු.

සරසවිය යනු බුද්ධිමය සංවාදයන්ට විවෘත තැනකි. එහෙත් ඒ සඳහා ඔලු පලා බුද්ධිය එළියට ගැනීමක් අවශ්‍ය නොවන බව මගේ හැගීම ය. සමහර විට මොරටු සරසවියේ බුද්ධිමත් ශිෂ්‍යයින් අපට වඩා දන්නවා විය හැකි ය.

සාධාරණත්වය සඳහා ලියා දැන්විය යුත්තේ හැම සරසවියකමත් තත්වය ඔයිට වෙනස් නොවන බව ය. ඒ නිසා සමහරු කරන්නට කැමති වන පරිදි මොරටු සරසවිය තනිකර ඊට පහර දීමට අපේ අපේක්ෂාවක් නැත. එක අතකට සරසවිවල නොව මුලු ලංකාවෙම තත්වය අඩුවැඩි වශයෙන් ඔයම ය.

සංවාද වෙනුවට කුණුහරුප එලියට දැමීමත් ඉනුත් නොනැවතී  පුලුවන් නම් හක්කේ තබා සෙම ඇරීමත් එක අතකට ලංකාවට පමණක් නොව දකුණු ආසියා කලාපයටම ආවෙණික ගතියක් දැයි සිතෙන තරම් ය. එයින් අදහස් වන්නේ වෙන රටවල් මෙහිදී අහිංසක බව නොවෙ. උන්ගේ ව්‍යාධිය අපේ තරම් දරුණු නැති බව පමණ ය.

බැස ගත හැකි පොදු නිගමනය වන්නේ මිනිසුන්ගේ පහත් මානසික මට්ටම් බුදුන් නිසාවත් වෙසක් නිසාවත් සරසවිය නිසාවත් වෙනස් නොවෙන බව ය.

තවදුරටත් කිව යුත්තේ මෙ ගැන යමක් නොකිරීමෙන් මීට සම්බන්ධ නැති බහුතර ශිෂ්‍යයින් ද සරසවිය ද පොදුවෙ සරසවි ප‍්‍රජාව ද අපකීර්තියට පත්වෙන බව ය.

සංවාදශීලීත්වය වඩාත් වැඩියෙන් ප‍්‍රකට කළ යුතු සරසවිය තුළ මෙ නාඩගම් ප‍්‍රදර්ශනය වීම ගැන අපේ පිළිකුළ මෙසේ පළ කර සිටිමු.

ඒ අපට ආඩම්බර විය හැකි දේශයක් කවදා හෝ ගොඩ නැගිය හැකි වෙතැයි යන බලාපොරොත්තුව ද සමගිනි.

Advertisements
Posted in: Uncategorized