අපට හැරෙන තැපෑලෙන් ලැබෙන බ්ලොග් අවකාශයේ ප්‍රතිචාර

Posted on June 3, 2010



වයස 4-5 කුඩා ළමුන් මහණ කිරීම යුක්ති යුක්ත දැයි අපි ප්‍රශ්න කළෙමු. අපට හැරෙන තැපෑලෙන් උත්තර ලැබිණි. සමහරක් මෙසේ ය.

ඔය කියන්නේ කොණ කැපීම හොදයි කියා ද? ඇත්තටම එය හොද ප්‍රශ්නයකි. වෙනම ගෙන සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි. එහෙත් මේ සංවාදයට ඒ ප්‍රශ්නය ගෙන ඒමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද?

ඔබ කියන්නේ දරුවන් කුණු ගොඩට විසිකිරිම ඊට වැඩිය සුදුසුයි කියා ද? එය ද තවත් වටිනා ප්‍රශ්නයකි. සංවාදයට බදුන් විය යුත්තකි. ඇත්තටම අප ඒ ගැන වෙනම බ්ලොග් සටහනක් ද ලිවීමු. එහෙත් මේ සංවාදයට ඒ ප්‍රශ්නය ගෙන ඒමෙන් අපේක්ෂා කළේ කුමක් ද?

බෞද්ධයින් විතර ද වැරදි වැඩ කරන්නේ? ඒ ප්‍රශ්නය සංවාදයකට වත් ගත යුතු නැති ගොන් ප්‍රශ්නයකි. මක්නිසා ද යත් උත්තරය ඉතා පැහැදිලි බැවිනි. වැරදි වැඩ සැවොම කරති. එහෙත් ඒ ප්‍රශ්නය ගෙන ඒමෙන් ඒ අය අපේක්ෂා කළේ කුමක් ද?

අපේක්ෂා කළේ කුමක් වුව ද සිද්ධ වෙන්නේ වැදගත් මාතෘකාවක් කතා කිරීමේ ඉඩ කඩ ඇවිරීම ය.

ලංකාවට මෙහෙම සංවාද අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මර්වින් වැනි මැරයෙක් ඇවිත් පනවන ආඥා ය.

“මින් මත්තට එක පුංචි කොල්ලෙක් එහෙම මහණ කරනවා නෙවෙයි. කිරිබත්ගොඩ පන්සලක එහෙම කළොත් ඒ හාමුදුරුවො කිරිබත්ගොඩ දං වළදනව බොරු.”

එතකොට සංවාදත් නැත. දානෙ වළදන නිසා කතා කරන්න බැරි විදිහට ඉද හාමුදුරුවන් පහුවෙනිදා සිටම ඒ ආඥාවට ගරු කරනවා ඇත. වැ‍ඩේ කිරිගහට ඇන්නැහෙ ය.

එහෙම ආඥාවක් පිළිපදින්නට බැරි අය පැදුරු කොට්ට අකුලාගෙන යන්න ලෑස්ති විය යුතු ය. ඒ වැයික්කියෙන් පිටව යන්නට ය. එසේ ගියේ නැත්නම් කෙළින්ම එළොව යන්න ය.

බොහෝ දෙනෙකු ඉල්ලා සිටින්නේ එහෙව් රටකි. ඒ නිසාම දෝ ලැබෙමින් තිබෙන්නේ ද එවන් එකකි.

කිරිසප්පයන් මහණ කිරීමට අප විරුද්ධ වුව ද අප කැමති ඒ විරුද්ධත්වය ප්‍රජාතන්ත්‍රවාදීව සමාජය තුළ සාකච්ඡාවට භාජනය කොට දැනුවත් සමාජයක් හරහා ඒ ගැන උත්තර සෙවීමට ය. කළුනික සෙවීම ඊට වඩා පහසු දැයි ප්‍රතිචාර විමසන විට හැගේ.

එහෙත් මේ ව්‍යායාමය අත්හැරීමට අපේ සූදානමක් නැත. මන්ද යත් මේ රට බුද්ධිමය මැදිහත්වීම් කරනා රටක් බවට පත් කිරීමේ සිහිනයක් අපට ඇති බැවිනි.

Posted in: Uncategorized