බාගෙට බාගයක් තරුණයෝ රට පනින්න බලා ඉඳිති

Posted on May 31, 2010



මැයි 24 දින ආණ්ඩුවෙ ඩෙලිනිව්ස් පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්තියකට අනුව මෙ රටෙ තරුණයින්ගෙන් සියයට පනහක් රටින් සංක‍්‍රමණය වීමෙ අභිලාශයෙන් සිටියි.

ඒ බව අනාවරණය වන්නේ කොළඹ සරසවියේ සමාජ විද්‍යා පීඨයෙන් කරන්නට යෙදුණු සමීක්ෂණයක දීය.

තරුණ කැරලි තුනක් ඇතිවූ රටක මෙය අරුමයක් නොවෙතත් රට ගැන ආඩම්බර වන උදවියට නම් මෙය හිතන්නට දෙයක් ලබා දෙයි (තරුණ ජනගහනයෙන් බාගයක් රටින් පනින්නට බලා සිටින රටක පුරවැසියෙකුට ඒ රට ගැන ආඩම්බර වීම තරමක අමාරු දෙයකැයි අපි උපකල්පනය කළෙමු).

හිතන්නට මොනවා ලබා දුන්නත් තමන් ඉන්නා රාමුවෙන් පිට එවැනි උන්ට හිතන්න බැරිකම වෙන දෙයකි. එහෙත් වරින්වර මෙසේ ඇගිල්ලෙන් ඇන උන්ට ඇහැරවා හිතපල්ලා යයි කියන එක අප (Beyond Frame) අත අරින්නේ නැත.

සමහරු හිතන එක මගහරින්නේ මෙන්න මෙවැනි උත්තර අපට ලබා දෙමිනි.

  • අනේ ඔය සමීක්ෂණ! කවුද ඔවා පිළිගන්නෙ? බටහිර අධිරාජ්‍යවාදී අධ්‍යාපන ආයතනවලින් උපාධි ගහගෙන ඔලුව කුරුවල් කර ගත්ත මිනිස්සු!
  • ඩොලර් අරන් බොරු කියනව ද කවුද දන්නෙ? රට ගැන නරක හැගීමක් දෙන්න.
  • ඔක සිරස කාරයාගෙ ඉදන් පටන් ගෙන ගෙනියන සංස්කෘතික ආක‍්‍රමණයක ප‍්‍රතිඵල. මුන් තරුණයන්ට මෙ රට එපා කරවල  සුද්දගෙම දේ හොඳයි කියල ඔලුවලට දාල.
  • දහම් පාසල් නොගිය උන් වෙන්නැති.
  • ඔය තණ්හාව ඔකට කොරන්න දෙයක් නැහැ. ලැබෙන දෙයක් කාල ඇඳල ඉන්නැතිව ඉගිල්ලෙන්න හදනව.

එහෙම වටපිටාවක මෙ ගැන සංවාදයක් ඇරඹීම අපහසු ය. ඒත් හැමදාමත් මෙ උත්තර වලින් සෑහීමට පත්වන්නට බැරි බව උන්ට ම තේරුම් යන දිනයක් ද පැමිණෙනු ඇතැයි අපි සිතමු.

අප මෙ කරන්නේ ඒ දිනය ඉක්මණින් ලගා කර ගැනීමට පුංචි උත්සහයක් ය.

බොරු උත්තරයක් දී මග හැර යාමෙන් ප‍්‍රශ්නයෙන් ඈත් විය හැකි ය. එහෙත් එයින් ප‍්‍රශ්න නැති කළ නොහැකි ය.

ප‍්‍රශ්නවලින් එසේ මග හැර යන ඉදිරියේ ප‍්‍රශ්න ඊළගට පෙනී සිටින්නේ අතිමහත් විනාශයක් ගෙන දිය හැකි වියරුවෙනි.

Posted in: Uncategorized