කුඩා දරුවන් මහණ කිරීම – කියන්නේ කාට ද?

Posted on May 29, 2010



අවුරුදු දෙක තුනක් වයසැති කුඩා ළමුන් දෙදෙනෙකු මහණ කර තිබෙනවා පුවත්පතක කියැවීමි. ඒ දෙහිමියන් කුඩා කාර් දෙකක් සමග සෙල්ලම් කරන ඡයාරූපයක් දිනපතා පුවත්පතක පළවී තිබුනේ යැයි ඒ ලිපිය ලියූ තැනැත්තා කියා තිබුනි. ඒ ඡයාරූපය නොදුටු නමුත් ඒබව සඳහන් ලිපිය නම් පළවී තිබුනේ මා කියවූ මැයි 24 දින ඩේලිනිව්ස් පුවත්පතේ ය.

එම සති අන්තයේම ඉරිදා ටයිම්ස් පුවත්පතේ තවත් එවැනිම සාමනේර හිමි නමකගේ සුරතල් ඡයාරූපයක් ද මම දුටිමි. ඒ මැයි 23 දින ෆන්‍ඩේ ටයිම්ස් අතිරේඛයෙනි.

සෙල්ලම් කළ යුතු කාලයේ දරුවන්ට මෙහෙම බරක් පැටවීම සාධාරණ දැයි  මට මහත් වූ සැකයක් ඇත්තේ ය. ඒ මට ද ඒ වයසේම වූ කුඩා දරුවෙකු සිටින නිසා ය.

ඒ සැකය ඉදිරිපත් කළ යුත්තේ මහ නායක වරුන්ට ද බෞද්ධ ජනතාවට ද එසේත් නැත්නම් ලමා හා පරිවාස කොමසාරිස්ට දැයි යන්න ගැන මට නිච්චියක් නැත.

ඉන්දියාවේ කුඩා දරුවන් දෙමාපියන්විසින් කසාද බන්දවනවා යයි අපි අසා ඇත්තෙමු. ඒවා අහන අප කම්මුලේ අත ගසා ගන්නා නමුත් ඊටත් වඩා දරුණු ඉරණමක් අප විසින් අත් කර දෙනු ලබන මෙ කුඩා සිගිත්තන් ගැන එවැනි කම්පාවක් අපේ සිතේ පහළ නොවන්නේ ඇයිද යන්න මට නම් ප‍්‍රශ්නයකි.

තමන්ගේ ඉරණම ගැන තීන්දුවක් ගත නොහැකි දරුවෙකුගේ ඉරණම එලෙස තීන්දු කිරීම නිවැරදිද?

පසුකලෙක අවශ්‍ය නම් සිවුරු ඇරීමෙ නිදහස ඇතැයි කෙනෙකු කියන්නට පුලුවන. එහෙත් කිසිදා මහන දම් පුරා නැති ගිහියන් විසින් හීරලුවෙකුයැයි කියා අවමන් කිරීමකට ලක්වන්නේ එවන් පුද්ගලයින් ය.

හීරලුවකු වීම  දික්කසාද වූ ගැහැණියක වීම තරම්ම අභාග්‍යයක් වූ රටක මෙය විශේෂයෙන් අසාධාරණ යයි හගිමි.

කියන්නේ කාට ද?

Advertisements
Posted in: Uncategorized