වසර 75 ට පෙර වෙසක් උත්සවය ගැන සදහන් ලක්මිණි පහන කතුවැකිය

Posted on May 28, 2010



අදින් වසර 75ට පෙර ලක්මිණිපහන පුවත්පතේ වෙසක් දින කතුවැකිය හුදී ජන පහන් සංවේගය සදහා බහා ලන්නට සිතුවෙමු.

“සකල ලෝකයට ප්‍රීතිමත් දිනයෙකි. ඍතුව වසන්තයයි. මාසය වෛශාඛය යි. පක්ෂය පුර යි. තිථිය පසළොස්වක යි. සකල ලෝකයෙහි සකල මහා බලයෝ එක් වැ සකල සත්ත්වයනට මැ ප්‍රීති දායක වනු සදහා මේ දිනය තෝරා ගත්තු ද?

කෙසේ හෝ වේවා යම් කෙනෙකුන් ගේ නමින් මුළු ලොව අද කුල්මත් වේ ද ඔවුන් පහළ වීමෙන් ලොව නිවුණු ලෙසෙක් පෙනී යයි. උනුන් ගෙල ගෙනැ රිහිරි උරා බොන්නට ඇස් බමවමින් තොල සපමින් ඇග වෙවුලමින් දිවෙන පනින මිනිසුන් ගෙන් අතුරු නැති වූ කාලයෙකැ මේ උත්තමයාණෝ උසසුන් බලා නො නැමී පහතුන් බලා නොනැගී “මෛත්‍රී කරව” යි වදාළහ. කෙසේ කාට මෛත්‍රී කරව යි වදාළෝද?

මව තමාගේ එකම පුතාට යම් බදු මෛත්‍රීයක් කෙරේද සකල සත්ත්වයන් කෙරෙහි එබදු මැ මෛත්‍රීය කළ යුතු යැ. පෘථග්ජන වූ අපට මේ නම් නිකම් මැ නිකම් කීමෙකි. කළ හැක්කක් සේ නොපෙනෙයි. එහෙත් ඒ උත්තමයාණෝ තමන් කළ දැයක් මැ අනුන් ලවා කරවති, අපට බරෙකි. ඒ අපගේ නුපුරුද්ද නිසා මැ යැ. මං මුළා වූවකු දහස් වරැ නො දැනැ මගින් වල් වදිනු වෙයි. එහෙත් වරද දුටු සැණින් මගට වැටෙනු ඒකාන්ත යැ. එමෙන් අපගේ සිතත් නොදැන්මෙන් වරදට හැරෙනු වෙයි. අපගේ යුතුකම නම් වරද දුටු සැණින් එයින් දුරු වීම යැ. මෙසේ පුරුදු කළ හොත් නොකළ හැක්කක් සේ පෙනෙන්නා වූ එබදු වූ මෛත්‍රීය කිරීම අපට එතරම් බරෙක් නොවන්නේ යැ.

ගිය ගිය තන්හි බණ දෙසන ගිය ගිය තන්හි “අපි ….ඇසුම් හ” යි පිටිසර මැහැල්ලන් ලවා ද දර්පයෙන් කියවන නිර්වාණය ආදී ලෝකෝත්තර පරම ගම්භීර ධර්මයක් නො ඇද, අපි කුමක් නිසා මෙ මෛත්‍රීය  මැ ඇදගතුමෝද? වර්ථමාන ලෝකයට එතරම් අවශ්‍ය වූ අන්‍ය ධර්මයෙක් නැත්තේ යැ. තිරිසනුන් අපි හරිමු. මිනිසුන් මැ ගනිමු. ධර්මය සිවු පයින් සිටි යුගය ගියේ යැ. තුන්පයින් සිටි යුගය ද ගෙවිණි. දෙපයින් සිටි යුගය ද ඉක්මිණ. මේ තනි පයින් සිටුනා යුගය යි. එහෙයින් දහම් කද බිමැ පෙරළී, තනි පය ඉහළ නැගී සිටීම ස්වභාවනුකූල යැ යි කියැ හැකි යැ. බුදු රජුනි, ඔබ ලොවට පහළ වියැ යුතු කාලය නම් මේ යැ. ලොව සුවපත් කරන්නට ඔබ දෙසු ධර්මය, දැන් ඇතැමෙක් ලොව පෙළන්නට යොදති, ඇතැමෙක් ලොව රවටන්නට යොදති, ඇතැමෙක් මුදල් සපයන්නට යොදති (අද හිටියා නම් කුමාරතුංග මෙයට මෙහෙම වාක්‍යයක් ද ඇතුළු කරනු ඇත – ඇතැමෙක් මැතිසබයට රිංගන්නනට ද යොදති). ඔබගේ මහා ශ්‍රාවකයෝ අද වෙත් නම්, ඔවුන් නිසා ද යුද්ධ කොලාහල සිදු විය හැකි යැ. එක් මහා ශ්‍රාවක කෙනෙකුන් ගේ සීවලී තෙරුන්ගේ  පිළිරුවට ද අද නිදහසෙක් නැත. මුදල් සපයන්නෝ එය තමන් රිසි රිසි තන්හි යොදති. බෞද්ධයෙකු ගේ බසයකට නැගුණ මැනව, එහි ද ඒ වෙයිත අවුණකට ගිය මැනැව, එහි ද ඒ වෙයි”

එදා මෙදා තුර අප රටේ කිසිවක් වෙනස්ව නැත. වෙනස්ව ඇත්නම් ඒ පරිහානිය දෙසට ය.

කුමාරතුංගයන්ගේ මේ බසට සවන් දී ඉන් නැගිට යමක් කළ යුතු යැයි හිතූ දේශප්‍රේමියෙක් සිටියේ නම් උන් අද ඒ බසම අසා ඉන් කුපිත ඒ බස් දෙඩු එකා පසුපසම හඹා යන යුගයක අපි ජීවත්වෙමු. ඉතින් පිරිහී නැති ද?

ඔලුවෙන් සිටුවා ඇති බුදු වදන දෙපයින් සිටවීමට ඉටා ගැනීම මේ වෙසක් දිනයේ අපේ පැතුම විය යුතු ය. මේ තිබෙන විරූපය බුදු දහමේ සැබෑව යයි සිතා දිගින් දිගටම වන්දනා මාන කළොත් බුදු දහම ඉවත දමා අනාගාමික වන තරුණතරුණියන් ප්‍රමාණය නම් අනාගතයේ ඉහළ යනු නිසැක ය.

එසේ වීම පවතින බුද්ධාගම ඒ හැටියෙන් ඇදහීමට වඩා නම් හොද ය.

Posted in: Uncategorized