බුදුබණ – Beyondframe විමසුමක්

Posted on May 27, 2010



බුදුන් වහන්සේගේ තෙමගුල  සිහිකරමින් අද පවත්වන වෙසක් උත්සවය තරම් උන්වහන්සේගේ ධර්මය ගැන කතා කරන්නට වෙනත් සුදුසු අවස්ථාවක් නැත්තේ ය.

තමන් උත්පත්තිය ලත් ශාක්‍ය වංශය වෙනුවට තමන් අයිති බුද්ධ වංශයට යයි කියමින් එතුමෝ විශ්ව දහමක් දෙසූහ. වෙනත් ශාස්තෘන් වහන්සේලාත් වෙනත් ආගමුත් පරිහාසයට ලක්කිරීම එතුමෝ නොඉවසූහ.

සියලු සත්ත්වයන් මෙත් වඩන්නටත් කිසිදෙයක නොඇලෙන්නටත් මම ය මාගේ ය අප ය අපගේය යයි නොසිතන්නටත් අපට කියා දුන්හ.

සන්සුන් සිතකින් යමක් විමසීමෙ වැදගත් කමත් ඒ නිසා සිත සන්සුන් කරගැනීම සදහා සමථ භාවනාව කිරීමෙ වැදගත් කමත් අපට කියා සිටිය හ. එවැනි තැන්පත් සිතකට පමණක් යමක ගැඹුර දැකිය හැකියයි එතුමෝ අපට කීහ.

උත්පත්තියෙන් නොව ක‍්‍රියාවෙන් පමණක් මිනිසුන් අගැයිය යුතුයැයි උන්වහන්සේ කියා සිටියහ.

තමන්ගේ වචනයේ උන්වහන්සේ ජීවත්වූහ. ලෝකයාට එක බණ පදයක් දෙසා තමන්ට තවත් පදයක් එතුමන් අනුගමනය කළේ නැත.

තමන්ගේ සාසනය මහ සයුරට උඵමා කළ උන්වහන්සේ විවිධ ගංගාවලින් විවිධ ජලය එකතුවෙතත් මහ සයුර ඒ වෙනස්කම් නොසළකා එකම ජලයක් වනවාක් මෙන් තමන්ගේ  සාසනයට විවිධ ජාති කුල හා විවිධ ප්‍රදේශවලින් අය පැමිණිය හැකි මුත් එසේ පැමිණිමෙන් පසු සියල්ලන් එකම සාසනයක කොටස් කරුවන් වන බවත් කීහ. සුනීත සෝපාක ‍වැනි කුලයෙන් පහත් විවිධ පසුබිම්වලින් පැමිණි අය බුදු සසුනට එකතු වූ පසු ඔවුහු ද ඒ නිසාම කිසිදු වෙනසක් නැති භික්ෂූන් වහන්සේලා වූහ. එවැනි අයට සාසනයට එක්වීමේ වාරණ පැනවීමට උන්ගේ උභය කුල පාරිශුද්ධතාවයක් සෙවීමට උන්වහන්සේ කටයුතු නොකළහ.

තමන්ට සෙවණ තමන් තුළ බව කියමින් උන්වහන්සේ මිනිසුන් ට නැගිටීමට ශක්තිය දුන්හ.

ආශ්චර්ය පෑම හෙළා දුටු උන්වහන්සේ භික්ෂූන්ට හා සිල්ගත් වෙනත් පාර්ශවයන්ට තමන්ගත් සීලයෙන් උදම් නොවන ලෙස දෙසූහ. එය ක‍්‍රියාවෙන් ම නිශ්චය කරනු සදහා උස් හා මහා ආසන වල අසුන් නොගන්නා ලෙසත් සාමන්‍ය මිනිසුන් අතර ඔවුන්ගේ මට්ටමෙන් අසුන් ගන්නා ලෙසත් භික්ෂූන්ට හා අටසිල් ගත් අයට පවසා උන්ගේ මානය මතු නොවන්නට කටයුතු කළහ.

ගස් ගල් වන්දනාව ද අහසේ තරු පන්ති දෙස බලා ජීවිතය තේරුම් ගැනීම ද උන්වහන්සේ අනුමත නොකළහ.

ශාස්තෘන්වහන්සේ කියූ නිසාවත් පරම්පරාවෙන් පැමිණි නිසාවත් පොත පතේ සටහන් වූ නිසාවත් ආරංචි පමණින්වත් කිසිවක් පිළි නොගන්නැයි ඉල්ලා මිනිසුන් විමසන්නට පුරුදු පුහුණු කළෝය.

කොඩියක් ලෙස ලඝු කොට ගේ ඉදිරියේ එල්ලීමෙන් වත් වෙසක් කූඩුවක් ලෙස සරසා පහන් දැල්වීමෙන් වත් තොරණක් ලෙස සළකා ඒකාලෝක කිරීමෙන්වත් පිළිවෙතක් ලෙස සළකා සිල් රෙද්දක් පැළදීමෙන් වත් ස්ටිකරයක් ලෙස සළකා වාහනයේ ගසා ගැනීමෙන් වත් බුදුන්ගේ දහමෙන් ප‍්‍රයෝජනයක් ලද නොහැකි ය.

එයින් සමහරක් හිතට සැනසීමක් සතුටක් ඇතිකරන අහිංසක ආමිස පූජාවන් ය. සමහරක් එයින් තමන් බැබලෙන්නට, ආත්මාර්ථය සළසා ගැනීමට, ඒ නිසාම හිත දූෂ්‍ය කර ගන්නා ක්ෂුද‍්‍ර කටයුතු ය.

අප ඉන්නේ ගෞතම බුද්ධ රාජ්‍යයේ යැයි කියන අයට අසුනොවන්නේ මෙයයි. හන්දියක් ගානේ බුදු පිළිම අටවමින් වැයික්කිය සටහන් කරන අයට මග හැරෙන්නේද මෙ කාරණයයි.

බුදු සසුන රැක ගැනීම සදහා බුද්ධාගමේ සදහන් ආගමානුකූල ඉගැන්වීම් ආඩම්බරයෙන් නොසළකා හරින අයට මතක් කළ යුත්තේ ද මේ කාරණයයි.

ඒ සියලු දෙනා කරන්නේ බුදුන්ගේ නාමයෙන් බුදුබණට පිටුපෑම පමණය.

Posted in: Uncategorized