බලන්න කැත – අහන්න අජූව – මර්වින්ගේ කිරිබත්ගොඩ වෙසක්

Posted on May 27, 2010



මර්වින් ගැන කතා කිරීමත් මර්වින් රකින ආණ්ඩුව ගැන කතා කිරීමත් දැන් තිත්ත ය. එහෙත් තව අවුරුදු හයක්වත් අවම වශයෙන් ඒ සදහා හිත හදා ගත යුතු ය. මේ සටහන ලියන්නේ විමන්සා නම් සහෝදර බ්ලොග්අඩවියේ දුටු ප්‍රවෘත්තියක් නිසා ය. එය ද අද වැනි වෙසක් දවසක වෙසක් දිනයටත් අගෞරව අත් කර දෙමින් කරන ලද එම වසල ක්‍රියාව නිසා ය.

එම සටහනට අනුව ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්තිවල මර්වින් පෙනී සිට කියා තිබුනේ වෙසක් වලට සල්ලි නොදුන්න අයගේ සල්ලි ගන්න තමන් දන්නා බවත් නොදුන් අයට කිරිබත්ගොඩ වසන්නට ඉඩ නොදෙන බවත් ය.

තමන්ට අතිමහත් මනාප දුන් කිරිබත්ගොඩ උපාසක උපාසිකාවන්ගේ සිනාමුසු මුහුණු මැද මේ කතාව කී බවක් ඒ සටහන කියවූ අපට හැගී ගියේ ය.

දැන් මේ ක්‍රියාව විග්‍රහ කළ යුතු ය. ඒ අප රටේ ජීවත්වන ප්‍රබුද්ධ ජනතාවට මෙය සද් ක්‍රියාවක් ලෙස වුව තේරුම් යා හැකි බැවිනි.

වෙසක් එකට උත්සව පවත්වන එක හොද ය. ඒ සදහා සල්ලි එකතු කිරීම ද කැමති බැතිමතෙකු දෙනවා නම් කමක් නැත.

ඒත් බලෙන් සල්ලි එකතු කිරීමත් නොදෙන අයගෙන් ද ගන්නා බවට තර්ජනය කිරීමත් ඒත් නොදෙන අය එලවා දමන බවට වහසිබස් දෙඩීමත් මර්වින්ට කෙසේ‍ වෙතත් වෙසක්වලට හොද නැත.

ඇත්තටම මර්වියා කර ඇත්තේ වෙසක් උත්සවයේ පැහැරීම ය. කැත කිරීම ය.

අපේ බෞද්ධයින්ගේ තරම බලා ගැනීමට මේ කටයුත්ත ඉතා වටිනා අවස්ථාවක් සපයයි. ඒකෝන් කළ ක්‍රියාවට වඩා මේ ක්‍රියාව තඹසතයකින් වත් උසස් යයි කිව හැකි බෞද්ධයින්ටයි මේ ආරාධනය. කටක් ඇර ඒ බවක් කියන්නට පුලුවන් ද?

බෞද්ධාගම බේරාගැනීම සදහා සටන් වැද සිටින සියලු දෙනාටයි මේ ආරාධනය. පුලුවන් නම් ඔය මියුරු කටහඩවල් ඇර වෙසක් උත්සවයේ නාමයෙන් වත් කට පියාගෙන ඉන්නා ලෙසට මේ පෝරිසාදයාට කියන්නට හැකි ‍කෙනෙක් ඔබ අතර නැත් ද?

පොඩ්ඩ බැරිවෙනකොට සිවුරු උස්සාගෙන වීදි බසින සංඝයාට මේ අවලම් කතාවට විරුද්ධව කරන්නට යමක් නැත් ද?

කිරිබත්ගොඩම ඉන්නා ඥානානන්ද හිමියන්ට තමන්ගේ වැයික්කියේ වන මේ වෙසක් සංහාරය ගැන එතුමන්ගේ මියුරු හඩින් දෙසන්නට යමක් නැත් ද?

තමන් බෞද්ධයින් කියාගෙන බෞද්ධාගම වෙනුවෙන් ගල් ගසනා වීරයින් ඇදන් යට සැගවී ගෙන ද නැත්නම් පන්සල්වල සිල් ගෙන ද එසේත් නැත්නම් මහමෙව්නා අසපුවට වැදී මර්වින්ට මෛත්‍රීය කරනවා දැයි අපට පැහැදිලි නැත.

වෙසක් උත්සවය මෙහෙම බාල්දු කරනවාට අපේ විරුද්ධත්වය නම් අපි මෙසේ පළ කර සිටිමු.

(මේ පිළිබදව ආණ්ඩුව කුමක් කරනු ඇත් ද? මර්වියාට බුද්ධ ශාසන අමාත්‍යංශය බාර දෙනු ඇත්තේ ය).

Posted in: Uncategorized