දෙමළාට පිළිගත නොහැකි සිංහල ශෝකප්‍රකාශය

Posted on May 22, 2010



“ඔබ විසින් ඔබගේ කණගාටුව පළකරමින් අප වෙත එවන ලද ශෝකප්‍රකාශය පිළිගැනීමට මේ මොහොතේ නොහැකි වීම ගැන අප කණගාටු වෙනවා. වත්මන අප විදින වේදනා හා  බලාපොරොත්තු රහිත භාවය යන දෙකම ඔබගේ කණගාටුව පිළිගැනීමට නොව එය නැවත හරවා එවීමට හේතු භූත වී තිබෙනවා. අපට එය අවශ්‍ය වුවද එය එපා යයි කීමට සිදුව තිබෙනවා. සිදුවූ දේ මෙන්ම ඉදිරියේ සිදු වේ යැයි දැනෙන දෙය ද ඒ හරවා යැවීම යුක්ති යුක්ත කරනවා.

අතීතය මෙන්ම අනාගතය ගැන බලද්දී ද ඔබගේ ඒ කණගාටුව ප්‍රකාශ කිරීම බරපතල ලෙස අප්‍රමාණවත් බවක් හැගෙනවා.

එලිය ඇතිවිට අස් කරගෙන ගිය අපේ නිවාස රැයේහිදී  හදිසියේ හැර යන්නට අපට සිදුවූවා. අපි අපේ පවුල්වලින් ඈත්ව ආයුධ දෙසට තල්ලු කෙරුණා. නැවත හැරී එන්නට හැකි වෙතැයි සිතමින්. අපේ සිරුරු පොළොවෙ විවිධ තැන්වල සැගව ගියා දූව්ල්ලක් ලෙස මහ පොළොවේ ගිලී ගියා. අප මිය යාමෙන් ද එයින් බේරීමෙන් ද මේ බිමේ ඔබගේ ශෝකප්‍රකාශයේ වදන් ඔබේ උගුරේම රැදී ඒ තුළ හොල්මන් කරන්නට පටන් ගත්තාටත් පසුවත් අප ජීවත් වෙනවා.

අප සමහර විට කැමැත්තෙනුත් සමහර විට අකමැත්තෙනුත් අනුන්ගේ අරගලයක කොටස් කරුවන් වුනා. අපට යාමට තිබූ මාවත් අහුරා තිබූ නිසාම අප තෝරා නොගත් මාවත් වල ද යන්නට අපට බල කෙරුණා. වෙලාවක මිතුරන් වූ අප තව වෙලාවක් සතුරන් වුනා. වෙලාවක නොවැදගත් වූ අප තවත් වෙලාවක වැදගත් වුනා. එක් වෙලාවක අපව ප්‍රශ්න කෙරුණා තවත් විටෙක නොසළකා හැර තිබුනා. පුංචි රටක ඔබ අපට බොහෝ දුරින් උන්නා. එකම මොහොතක අප ඔබගේ මිනිසුන් ද පරයින් ද වුනා.

ඔබට අපව මතක් වන තෙක් රැදෙන්නට අපට බැරිවුනා.

අප විනාශව ගියා. ඒ අතර අප ජීවත්වන්නට ඉතිරි ද වූවා. විනාශය අපව අඩු කළා. ඒ අතර එයම අප විශාල කළා. අප සමහරකට මුදල් ටිකකුත් කෑම ටිකකුත් තිබුනා. අපට දරුවන් ද සිටියා. උන් අපේ කැමැත්තෙන් ද අකමැත්තෙන් ද අප ඉදිරියේම අපට අහිමිව ගියා. ඔවුන් අපේ දෑත්වලින් උදුරාගනු ලැබුවා. ඔවුන් අප ලග රදවා ගැනීමට අපි වැර වෑයම් කළා. ඔවුන්ගේම ආරක්ෂාව සදහා අපි උන් අපෙන් ඈත් කරන්නට ද වෑයම් කළා. තවත් විටක උන් වෙත හඹා එන උන්ඩයට අපේ ලය දී උන් රැක ගත හැකැයි සිතා අපි උන් අප ලගම තියා ගත්තා.

අපෙන් සමහරකට එය කරන්නට හැකිවූ අතර සමහරු ඊට අසමත්වුනා. ඒ නිසා උන් අදත් ඒ ස්මරණයන් ඇතිව ජීවත්වෙනවා. රැක ගැනීමට අපව කැපකළ අපේ දරුවන්ගේ පරම්පරාවෙන් ඔබ්බට ද ගෙන යන දරුණු මතකයන් අප තුළ අදත් ජීවත්වෙනවා.

ලේ හලන මේ අරගලයේ දී අපේ කන් මහ පොළොව මත ඇද වැටුනා. ඒ නිසා ඔබේ ඔය ශෝක ප්‍රකාශයන් අපට ඇසෙන්නේ නැහැ. ජීවත්වීම සදහා ඇස් වසා ගන්නට අපට සිදුවුනා. ඒ නිසා ඔබේ දෑසේ රැදී ඇත්තේ මොනවාදැයි අප දකින්නේ නැහැ. සාගින්න ද කෝප ගින්න ද ඉවසිය නොහැකිව අපි අපේ කට වල් වසා ගත්තා. අපව ගොදුරු කරගත්, අපත් සමග දිවූ, අපත් සමග මියගිය අපේ නායකයින්, සගයින්, මිතුරන්, පවුලේ අය අප දැන හිටියා වගේම අප දැන නොහිටියා.

අප හැම අතින් ම වට කරනු ලැබ මුහුණ දී හිටියා. සමහරු ජීවත්වන්නට ඉතිරිවුනා. අප තවමත් මෙහේ. අවසාන වශයෙන් ද කිව හැක්කේ ඔබේ කණගාටුවේ ප්‍රකාශ අපට පිළිගන්නට නොහැකි බව ය.”

මෙම ප‍්‍රකාශය groundviews වෙබ් අඩවියේ පළවූ සටහනක සිංහල පරිවර්ථනයයි. එහි මුල් ලේඛකයා V V Vishvananthan ය. මුල් ලිපියේ වචන මීට වඩා බොහෝ සෙයින් ප‍්‍රබලය. අප කළ පරිවර්ථනය මගින් මුල් ලිපියට අගතියක් වූවා දැයි සැකයක් ඇත. ඒ නිසා ඉංග‍්‍රීසි තේරුම්ගන්නට සමත් අය මුල් ලිපියම කියවනු ඇතැයි යන්න අපේ කැමැත්ත ය. අපි අපට හැකි අයුරින් ඒ ලිපියේ ජීවය නොනසන්නට හැකි තාක් උත්සහ කරමින් ලිපිය සිංහලයට පෙරලුවෙ අසල්වාසී දෙමළා ගැන සිංහලයා ද ළගින් දැන සිටිය යුතු යැයි ද ඔහුගේ වත්මන් සිතිවිලි පරම්පරාව ගැන සංවෙදී විය යුතු යයි ද සිතූ නිසා ය. අවධාරණයන් අපේය. දෙමළුන් ගැන සිංහලුන් දරණ මතයන් කොතරම් සාවද්‍ය විය හැකි දැයි දනවනු සදහා ඒවා යොදන්නට සිතිණි. මේ කියවන ඔබට දැනුනේ කිමෙක්දැයි දැනගන්නට අපි කැමැත්තෙන් සිටිමු.

http://www.groundviews.org/2010/05/20/we-regret-to-inform-you-that-your-condolences-cannot-be-accepted-at-this-time/

Posted in: Uncategorized