අපේ වැඩක් අපි බලාගමු!

Posted on May 20, 2010



සර්ව පාක්ෂික සමුළුව වසර 6ක් තිස්සේ වරෙක වේගයෙන් දුවමින් ද වරෙක මර නින්දේ පසුවෙමින් ද බොහෝ කෙකර ගා වැදූ විසදුමට සිදු වූ දෙයක් අදටත් සොයාගන්නට නැත. එහෙත් ඉන්දියාව කංකෙදිරි ගානා විටත් ජාත්‍යන්තරය විසින් අප රටට පීඩනයන් එල්ල කරන විටත් උන් රවටනු පිණිස පෙන්නන්නට යමක් එහි තිබුණේ ය. එය කදිම ආරක්ෂක අත්වැලක් යුද්ධය ජයට කරගෙන ගිය රජයට සැපයූවේ ය. දැන් ආගිය අතක් නැති වුවද එය ‍‍ඓතිහාසික රාජකාරියක් ඉටු කළේ ය.

ඒ ගොන් කරත්තේ බරට කර ගැසූ තිස්ස විතාරණ අමතක වන්නට ගොසින් අවසානයේ කවුරුන් විසින් හෝ රටේ නායකයින්ට සිහිපත් කිරීමෙන් අනතුරුව ඇමති පදවියකින් පුදනු ලැබූ නමුත් ක්‍රියාවලිය මෙන්ම පුද්ගලයා ද බොහො‍් දෙනෙකුගේ මතකයෙන් ගිලිහිව ගොස් තිබූ බවට ඒ පමාවූ කැබිනට් පත්කිරීමේ පුවතම සෑහේ.

අප මෙසේ කියන විට අප තිස්ස විතාරණ වෙනුවෙන් කඩේ යනවා යැයි සමහරුන් සිතන්නට ඉඩ තිබේ. ඔහු ඇමතිවරයෙකු හැටියට දක්ෂ ද අදක්ෂ ද කියාවත් ඔහු තමන් සභාපතිත්වය දැරූ සමුළුව හරහා ජනිත කළ විසදුම පිළිගත හැකි ද නොහැකි ද කියාවත් විමසන්නට අපි අපේක්ෂා නො‍කළෙමු. අප ලියන්නට අදහස් කළේ එසේ අමතක කරන ලද අතීතය අපට යමක් මතක් කරන බව කියන්නට පමණය. ඒ අපගේ දේශයේ බරපතළ කරුණු අරභයා පත් කරන කොමිසම් සභාවලට වෙන පොදු සන්තෑසිය පිළිබදව ය.

මෙය වඩාත් වැදගත් වන්නේ වාර්ගික යුද්ධය නිමා කිරීමේ පළමු සංවත්සරය යෙදී තිබෙන පසුබිමක මෙම විමසුම සිදුකිරීම නිසා ය.

සමරන්නට ජයක් මිස විසදන්නට ප්‍රශ්නයක් නොතිබූ බව එයින් අදහස් කෙරේ.

සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වුවා ද යන්න වත් එහි විසදුමට කුමක් වී ද යන වගවත් අඩුවශයෙන් ආණ්ඩුව ඉන් උගත්පාඩම මේ යැයි කියා කියන්නටවත් ආණ්ඩුව පැත්තෙන් කාරණා යෙදුනේ නැත. අප එසේ කීවේ ඒ නිසා ය.

එහෙත් පසුව පෙනී ගිය පරිදි වැරදී ඇත්තේ අපට ය. ආණ්ඩුව නිකම් ඉන්නට සූදානම් නැත.

පැරණි සමුළුව එහැම පිටින්ම අමතක කළ ආණ්ඩුව දැන් ආණ්ඩුව අලුත් වටයක් යන්නට හිත හදාගෙන තිබේ. ඒ සර්ව පාක්ෂික සමුළුවක් වෙනුවට සර්ව විද්වත් මණ්ඩලයක් ආරම්භ කිරීම මගිනි.

මේකත් හරියට සැණකෙළියක තිබෙන විසිතුරු කෝච්චියක් වගේ ය. මුල් පිරිස එක වටයක් ගසා මුල් තැනටම පැමිණුනු පසු දැන් දෙවැනි පිරිසක් තවත් එවැනිම වටයක් ගෙන ගොස් ලීමට මේ කෝච්චිය සූදානම් ය. එයත් රවුමක් ගසා එන්නට නියමිතව ඇත්තේ මුලින් තිබූ තැනටම ය.

නගින අයට කේක් පැටිස් කා තේ බොන්නට අවකාශ ලැබෙන්නේ ය. තවත් කීප දෙනෙකුට මේ ආශ්‍රයෙන් රැකියාවන් ලැබෙන්නේ ය. දවල් වැටුනු වලේ රෑ වැටෙන්නට සූදානම් වන අයට මේ මගින් අලුත් බලාපොරොත්තු ලැබෙන්නේ ය.

ඊට අමතරව දේශපාලනඥයින්ට බැරි වූ දේශපාලන ප්‍රශ්නයක් විසදන්නට විද්වත් මණ්ඩලයකට පුලුවන් වෙතැයි සිතන්නට කැමති අයට ආණ්ඩුවේ මේ අලුත් (හැඩ වැඩ දමා ගත් පරණ) නෙයියාඩගමට ඉත සිතින් ආශිර්වාද කරමින් පත්තර පිටු පුරවන්නට පුලුවන.

ප්‍රශ්නය නැවත මතුවන තුරු ඒ පිළිබදව යමක් නොකෙරෙන බව නම් ඉරහද මෙන් ස්ථිර ය. ඊට පසු යමක් වෙනවා යයි එයින් අදහස් කෙරෙනවා නොවේ. අප කියන්නේ එතෙක් අපට ඒ ප්‍රශ්නය අමතක කොට අපේ වැඩක් බලා ගත හැකි බව පමණකි. ඒ අතරෙ විද්වත් මණ්ඩලය වරෙක නිදාගෙන ද හිටිහැටියේ නැගිට ගෙන ද කෑගසමින් ඒ වැඩේ කරගෙන යනු ඇත.

Advertisements
Posted in: Uncategorized