යුධ ජයග්‍රහණයේ සංවත්සරය

Posted on May 17, 2010



සිදුවෙලා වසරක් ගතවෙලා ය. වැස්සට සේදී ගියේ නැත්නම් පළමු සංවත්සරය ඉහළින් සමරන්නට ද සියල්ල සූදානම් ය. ප්‍රධාන උත්සවයට අමතරව ප්‍රාදේශීය උත්සව ද පවත්වනු ඇත්තේ ය. සමහර විට නැවත කිරිබත් ඉදෙන්නටත් බෙදා හදා ගෙන කන්නටත් ඉඩ තිබේ.

එහෙත් හැමදාමත් මේ “ජය” සමරමින්ම අපට දවස ගෙවිය නොහැකි ය.

එදා මෙදා තුර රට තුළ සිදුවූයේ කුමක්ද?

එකක් හැර එකක් මැතිවරණ පැවැත්වීම හැරුණු කොට ගෙවී ගිය වසර තුළ අපේ රජය විසින් ගත් එක් වැදගත් දේශපාලන ආර්ථික හෝ සමාජ තීරණයක් තිබේ ද?

අපගේ නොදන්නා කමට අප ඒ ඇසුවේ ගෙවී ගිය අතීතය ගැන ය.

එය තරමක නිශේධනීය ප්‍රශ්නයක් බව ඇත්ත ය. අතීතය අදුරු වූ විට ඒ සම්බන්ධයෙන් නැගිය හැක්කේ එවැනි ‍නිශේධනීය ප්‍රශ්නයන්ම පමණකි.

තවත් සංවත්සරයක් අභියස අප අපගෙන් ඇසිය යුතු තවත් ප්‍රශ්න රැසක් ද තිබේ. ඒ අනාගතය පිළිබදව ය. අනාගතය ගොඩ නැගෙන එකක් නිසා ඒ සම්බන්ධයෙන් මතුකළ හැකි සාධනීය ප්‍රශ්නයන් ද තිබේ.

මෙවැනි ඛේදවාචකයක් නැවත මතු නොවීමට (යුදමය වශයෙන් හැර) අප විසින් ඉටු කළ යුතු වෙනත් යුතුකමක් වෙයි ද?

එය ඉතිරිව ඇති ඊළම් ජාත්‍යන්තර හඩ මර්දනයට එහා යන දෙයක් ද? නැතිනම් ඊට සීමාවන දෙයක් ද?

දෙමළ ජනතාව වෙනුවෙන් කළ යුතු – උන් මේ රටේ සමාන පුරවැසියන් බවට පත් කරලීම සදහා කළ යුතු – වෙන මොකවත් ඇත්තේම නැත් ද?

වර්ගවාදී ගැටුම්වලින් නිදහස් දේශයක් බවටත් විවිධ ජන කොට්ඨාෂයන් සමගියෙන් හා සාමයෙන් ජීවත්වන ආදර්ශමත් රටක් බවටත් අනාගත ශ්‍රී ලංකාව පත් කර ගැනීම සදහා සිංහල (බෞද්ධ) අප විසින් කළ යුතු යමක් වෙයි ද?

වසරක් ගතවීත් මේ ප්‍රශ්නයන් පිළිබද හරවත් සංවාදයන් සිදුවන බවක් නම් තවම නොපෙනේ.

දිනෙන් දින දියව යන ජයග්‍රහණයේ අයිස් කුට්ටිය අපට සිසිලසක් ගෙනෙන්නේ නැත. ඒ එම අයිස් කුට්ටිය තබා ඇත්තේ ගිනි ගෙන දැවෙන උදුනක් මත බැවිණි.

Posted in: Uncategorized