ගෝර්ඩන් බ්‍රවුන් රනිල්ට කිචේ දමයි! මහින්ද ඇමරිකාවට කිචේ දමයි!

Posted on May 16, 2010



ගෝර්ඩන් බ්‍රවුන් ඉල්ලා අස්වූයේ ය. ඒ ලංකාවේ සිංහල රනිල්ට කිචයක් දමා ය.

රනිල් සිංහල නොවේ යැයි ද අධිරාජ්‍යවාදීන්ගේ අත පල්ලෙන් වැටුනු පරයෙක් යැයි ද කියා අපට ඒ කිචය අපට කළ එකක් නොවේ යැයි හිත හදා ගන්නට පුලුවන.

එහෙත් හොදට හොයා බැලුවොත් කිසිදු පක්ෂයක නායකයෙකු සිය කැමැත්තෙන් ඉල්ලා අස්වූ අවස්ථාවක් ලංකා දේශපාලන ඉතිහාසයේ නැත. ඒ නිසා ඒ කිචය සකල ශ්‍රී ලංකා වාසීන්ටම එල්ල කළ එකකි. එය රනිල්ට වැදීම මේ අවස්ථාවේ සුවිශේෂයක් පමණි.

එයින් කියවෙන්නේ ‍ගෝර්ඩන් බ්‍රවුන්ට ලංකාවේ දේශපාලකයන් කිච කිරීමේ වුවමනාවක් තිබූ බව නොවේ. උන්දෑ කළ වැඩය නිසා අප කිච වූ බව ය.

දැන් මේ කාරණය තවත් ආකාරයකින් රග දැක්වීමට සූදානමක් තිබේ. ඊට කලින් අපි ඇමරිකාව දෙසට හැරෙමු.

ඇමරිකාවේ ව්‍යවස්ථාවේ ජනාධිපති කෙනෙකු ලෙස කැමති වාර ගණනක් පත්වීමේ ඉඩකඩ එක් කලෙක තිබිණි. ඇමරිකානුවෝ එය නුසුදුසු යයි සළකා එය දෙවාරයකට සීමා කරනු පිණිස 22 සංශෝධනය ව්‍යවස්ථාවට ගෙනාවෝ ය.

අපේ රටේ සිදුවෙන්නේ එහි අනිත් පැත්ත ය. වාර දෙකකට සීමා වී තිබුණු ජනපති වීමේ ප්‍රතිපාදන අඩංගු ව්‍යවස්ථාව 18 වරට සංශෝධනය කරමින් කැමති වාර ගණනකට පත්විය හැකි ව්‍යවස්ථාවක් ගෙන ඒමට දැන් තීන්දුවක් ගෙන තිබේ. ඒ මුලින් දෙවරක් හැකිය යන්න වෙනස් කොට තෙවරක් ලෙස කරන්නට කල්පනා කර එය ද මදි යයි සිතා ගන්නා ලද තීන්දුවකි.

ගෝර්ඩන් බ්‍රවුන් නම් සුද්දා ඉංග්‍රීසි කිචයක් අපට දාන විට අප සූදානම් වන්නේ සිංහල කිචයක් ඇමරිකාවට දාන්න ය.

ඇත්තටම සුද්දාවම ලොකු කරන්නට අපට වුවමනා යයි කියමින් මේ ඉදිරිපත් කරන සංවාදයට බයිපාස් උත්තරයක් දෙන්නට දක්ෂ බොහෝ දෙනෙක් ඉන්නා බව අපි දනිමු.

ඒ නිසා සුද්දාගෙන්ම නැතිව කල්ලන්ගෙන් ද උදාහරණ දෙකක් ඉදිරිපත් කොට එයින් ගැලවෙන්නට අපි අදහස් කරමු.

නෙල්සන් මැන්ඩෙලා කල්ලෙකි. වර්ගවාදී සුද්දන්ගේ දැඩි හස්තයෙන් දකුණු අප්‍රිකාව මුදාගත් නිසා අප්‍රිකාවේම වීරයෙක් වූ කෙනෙකි. එහෙත් ජනාධිපති හැටියට දිගින් දිගටම බලයේ ඉන්නට පුලුවන් කම තියෙද්දී ඔහු බලය අත් හැරියේ ය. ඊට එක් හේතුවක් වූයේ ගොඩනගන නව අප්‍රිකාවට පරමාදර්ශයන් අවශ්‍ය යයි ද පාඩම් අවශ්‍ය යයි ද ඔහු කල්පනා කළ නිසා ය.

ගාන්ධි ඉන්දියන් කාරයෙකි. අපේ කලාපයේ ම කෙනෙකි. නිදහස් ඉන්දියාවේ නායකයා වීමට ඕනෑවටත් වඩා සුදුසු කම් ඔහු සපුරා සිටියේ ය. එහෙත් ඔහු එය බාර ගත්තේ නැත. ඒ ද නෙල්සන් මැන්ඩෙලාට කිට්ටු මතයක් ඔහු දැරූ හෙයිනැයි සිතමි.

මේ නායකයින් දෙදෙනාගේම අභිප්‍රාය වූයේ ජනතාවට බලය පැවරීම ය. ඒ සදහා සිහසුන ද කිරුළ ද අත හැරීම ඔවුන්ට ප්‍රශ්නයක් වූයේ නැත.

බලාගෙන ගියහම අපව කිච කරන්නට එකතු වන පෝලිම විශාල ය. සුද්දන්ගෙන් පමණක් නොව කල්ලන්ගෙන් ද අපේම කලාපයේ ඉන්දියන් කාරයින්ගෙන් ද උන් සමන්විත ය.

එහෙත් මේ කිචය කිඹුල් හමක් ඇති අපට දැනෙනු ඇත් ද?

රනිල් මහින්ද ඇතුළු සියලු ලාංකික නායකයින්හට පමණක් නොව උන් නායක තනතුරුවල හොවා වදිනා අපටවත් එය දැනේ විද?

Advertisements
Posted in: Uncategorized