ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට ලෝකයෙන් බිංදුව! මන්ත‍්‍රීතුමාට ගමෙන් වැඩිම මනාප!

Posted on May 15, 2010



ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට ලෝකයෙන් බිංදුව! මන්ත‍්‍රීතුමාට ගමෙන් වැඩිම මනාප! ඒ එකම පුද්ගලයාගේ කාසියේ දෙපැත්ත ය. පුද්ගලයා සනත් ජයසූරිය ය. ඒ ඉස්සර ය. දැන් ගරු සනත් ජයසූරිය ය.

සනත් ජයසූරිය නම් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා පිළිබඳ ආඩම්බර නොවුනු ශ‍්‍රිලංකාකියෙකු සිටියේ නැත. ඒ එදා ය. අද ඔහු ගැන කියවෙන්නේ වෙන කතාවකි.

ඒ මන්ත‍්‍රීවරයෙක් හැටියට තමන් ඉදිරිපත් වූ දිස්ත‍්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන පාර්ලිමෙන්තුවට පිවිසියාට පසු ය.

විවෙචන එල්ල වන්නේ යූ ඇන් පී කාරයින්ගෙන් පමණක් නොවෙ. විවෙචන එල්ල කරන්නන් අතර පක්ෂ විපක්ෂ බොහෝ ක‍්‍රිකට් ලොලීහු ද වෙති.

බොහෝ දෙනෙකු කියන්නේ නම්බු පිටින් ඉවත්වන්නට ඔහුට තිබූ බව ය.

නම්බු පිටින් ඉවත්වන්නට ඔහුට තිබීම එකකි. එහෙත් දිගින් දිගට අසාර්ථක වෙද්දී ඔහු පිළේ රඳවා ගෙන සිටීම තවත් එකකි.

ඉල්ලා අස් නොවී ඉන්නට තරම් ලජ්ජාවක් නැති කම සනත්ගේ ප‍්‍රශ්නයක් වුව දිගින් දිගටම අසාර්ථක වන ඔහු රඳවා ගැනීම ක‍්‍රිකට් පරිපාලනයේ ගරුත්වය මෙන්ම හැකියාවද පිළිබද ප‍්‍රශ්නයකි.

අප එහෙම කිව්වාට අසාර්ථක ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් එලවිය හැකි මුත් අසාර්ථක ක‍්‍රිකට් ගහන මන්ත‍්‍රීවරයෙක් එලවීම බොහෝ සෙයින් අමාරු ය. එයට හේතුව ඒ සඳහා මුල පිරීමට කිසිවෙකු සොයා ගැනීමට නොහැකි වීම ය.

ක‍්‍රීඩකයෙක් ඉවත් කරන්නට ගොස් තේරීම් කමිටුවෙන් කැපෙන්නට කැමැත්තේ කවුද?

ඒ නිසා මන්ත‍්‍රීතුමාට අස්වෙන්නට සිතෙන තුරු අප මෙ ගමන යා යුතු ය. ජාතික කණ්ඩායමට සෙල්ලම් කරමින්ම දේශපාලනයට පැමිණීම කැත යයි බොහෝ දෙනා කීවෙ මෙ නිසා ය. ජාතික කණ්ඩායමට සෙල්ලම් කර‍න්නෙකු දේශපාලනයට ගෙන ක්‍රීඩාව කා දැම්මේ යයි බොහෝ දෙනා ජන මූල නායකයාට චෝදනා කළේ ද මේ නිසා ය.

දැන් ඒ කාරණා ඇස් පනා පිට ඔප්පු වෙමින් තිබෙ.

නෑකමත් ගමෙ කමත් ක‍්‍රීඩාවත් දේශපාලනයත් පක්ෂයත් තනතුරුත් සියල්ල අනා ගැනීම ශ‍්‍රී ලාංකික ජන මානසිකත්වයේ අපූරු සංසිද්ධියකි. ඊට පසුව එළඹෙන්නේ දිග හැර ගැනීමට අමාරු නූල් බෝලයේ ජවනිකාව ය.

මෙ දැන් එළැඹ තිබෙන්නේ ඒ හෝරාවයි. බඩ අල්ලා ගෙන සිනාසෙමින් දිනෙන් දින තව තවත් අවුල්වන මේ ගැටය ජන මූල නායකයා විසින් ලිහා ගන්නා ආකාරය දෙස අපි දු බලා සිටිමු.

පාසලේ කණ්ඩායමට ප්‍රින්සිපල්ගේ පුතා දමා ගත් එක කාලයක ඌ යවන බොක්කුවක් පාසා අප හූ කිව්වා අපට මතක ය. හූව කෑවේ පුතා වුව ද අප හූ කියන කියන වාරයක් පාසා මූණ ඇඹුල්වූයේ තාත්තාගේ ය.

දැන් කළ හැක්කේ කුමක් ද? කියමු ද හූවක්? කාටද?

අපි අපිට ම!

Advertisements
Posted in: Uncategorized