භික්ෂුවක් ගෙනියන රථයකට රිවස් කිරීම අකැපද?

Posted on May 14, 2010



ඊයේ පෙරෙදා වැස්ස දවසක එක්තරා කාර්යාලයක වාහන තදබදයක් තිබිණි. ඒ කාර්යාල පරිශ‍්‍රයේ සිට වාහන ගනු ලැබුවෙ පිටුපසට පැදවීමෙනි. මෙසේ වාහනයක් ගනිමින් තිබියදී ත‍්‍රී වීලරයක් ඒ ගැන වගේ වගක් නැතිව ගේට්ටුවෙන් ඇතුළු විය.

මුර කුටියේ මිනිසුන් ත‍්‍රීවීලර් රියැදුරාට රථය පිටුපසට ගන්නා ලෙස කියූ නමුත් ඇතුළේ සිටි හාමුදුරුවන් කීවෙ තමන් සිටින රිය පිටුපසට නොගන්නා ලෙස ය.

නොසන්සුන් වූ පිටුපසට පැදවූ රියැදුරෙක් ත‍්‍රීවීලර් රියැදුරාට පිටුපස ගන්නට නලාව හඩලා දිගින් දිගට සංඥා කළ නමුත් ඒ ත‍්‍රීවීලරය ඉදිරියට මිසක පිටුපසට ගැනීමට අදහසක් නැති බව පළ කළේ ය. මුර කුටියේ හිටි මුර කරුවෙකු කරගන්නට දෙයක් නැතිව නලාව හඩවන රියැදුරා ලගට ගොස් කීවෙ ත‍්‍රීවීලරයේ ඉන්නේ භික්ෂූන්වහන්සේ නමක් බව ය.

පිටුපස්සට ගන්න බැරිව ඇත්තේ ඇයි දැයි රියැදුරාට තේරුණු නමුත් ඔහුට කළ හැකි දෙයක් නොවීය.

භික්ෂුවකට වුව රිවස් කරන්නට සිදුවිය හැකි යයි තේරුම්කර දීමට මුර කුටිය භාර නිලධාරියාට සිදුවූ අතර එතෙක් රිවස් කරන්නට බැරිවූ ත‍්‍රීවිලරය ඉන්පසු රිවස් කරනු දක්නා ලද්දේ ය.

ඇත්තටම බුදුන්ගේ දේශය තුළ භික්ෂුවකට රිවස් කිරිමට සිදුවීම අවමානයට හේතුවක් යයි හිතුවා නම් එහි වැරැද්ද පැවරිය යුත්තේ කාට ද? භික්ෂූන්ට වුවමනා නැති බලයක් ආරූඪ කරන අපේ සමාජයට ද නැත්නම් ඒ ආරූඪ කරන බලයෙන් තමන් විහිළුවකට අන්දා ගන්නා හෝ අඳින්නා වූ භික්ෂූන්ට ද?

මෙවා ලියන්නේ බුදුදහම අපකීර්තියට පත් කිරීමට යයි සමහරු කියතත් අපේ අරමුණ නම් මෙවැනි චීවර ධාරීන්ගෙන් හා උන්ට උල්පන්දම් දෙන ආගමික අන්තවාදීන්ගෙන් බුදු දහම රැක ගැනීම ය. බුදුදහමට ඇල්ම ඇති අය අපේ ඒ අදහස ඒ අයුරින් වටහා ගනු ඇතැයි අපට විශ්වාස ය. ඒ නිසා බොරු ගෙම්බර් මැද්දේද මෙවා තවදුරටත් අප විසින් ලියනු ඇත්තේ ය.

Posted in: Uncategorized