පිළිගෙනත් බැරිය. පිළි නොගෙනත් බැරිය!

Posted on May 9, 2010



අප ආණ්ඩුවේ වැඩ හා ඇමතියන්ගේ වැඩ පසුගිය කාලය තිස්සේ දෝෂ දර්ශනයට ලක් කළෙමු. වැරදි මිසක් හොද දෙයක් නොදකින්නේ යැයි සමහරු අපට චෝදනා කළහ. එයිනුත් නොනැවතී බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන් අප විසින් ඉටුකරන්නේ යැයි අමතර චෝදනාවක් ද උන් ගෙනාහ. එහෙත් මේ දැන් සිදුවෙමින් තිබෙන දේ අදහාගන්නට පවා අමාරු ය. පහත ප්‍රවෘත්තිය දෙස බලන්න.

නිමල් සිරිපාල ද සිල්වා මහතා සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටි කාලය තුළ රජයේ රොහල්වලට බෙහෙත් හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී මහා පරිමාණයෙන් දූෂණ කොමිස් ගැහිලි සිදුව ඇති බවට වර්තමාන සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නියමය පරිදි සිදුවන පරීක්‍ෂණවලින් තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

රජයේ රෝහල් වෙනුවෙන් බෙහෙත් වර්ග ආනයනය කරනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා වූයේ සංස්ථාව බෙහෙත් වර්ග ඇණවුම් කළත්, ඒ සඳහා ණයවර ලිපි නිකුත් නොකිරීමත්, භාණ්ඩාගාරයෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන නොලැබීමත් නිසා රෝහල්වල බෙහෙත් හිඟයක් පවතින බවයි.
මේ තත්ත්‍වය ගැන කරුණු සෙවීම සඳහා භාණ්ඩාගාරයේ ලේකම්වරයකු පසුගියදා කළ සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබෙන්නේ බෙහෙත් ආනයනය සඳහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 600 ක මුදලක් ලංකා බැංකුවෙන් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබූ බවයි. ඖෂධ සංස්ථාව හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාල බලධාරීන් කර තිබෙන්නේ එතෙරින් බෙහෙත් ගෙන්වීමට කරන ඇණවුම් මුදල් නැතැයි ප‍්‍රමාද කරමින් මහා පරිමාණයෙන් දේශීය වශයෙන් මිල ගණන් කැඳවීමකින් තොරව බෙහෙත් මිලදී ගැනීමයි. දේශීය මිලදී ගැනීම්වලදී ලැබෙන කොමිස් කුට්ටියම විශාලය (lankaenews).

අප කළ කී දෑ (විවේචන හා විචාරයන්) දහ පහලොස් ගුණයකින් වැඩි කර දැන් කරන්නෝ පැරණි අමාත්‍යංශ බාර ගත් අපේ ඇමතිවරු ය. තමන්ට කලින් හිටි ඇමැත්තා එක්කෝ මුකුත් කර නැත. නැත්නම් කර ඇත්තේ බැනර් ගසා උත්සව පැවැත්වීම වැනි සෝබන වැඩ ය. නැත්නම් ඉහත ප්‍රවෘත්තියෙන් හෙළිවන පරිදි හොර මැරකම් ය. ඒ නිසා අධ්‍යාපනයේ පටන් සියලු කෙත් තිබෙන්නේ පුරන් වෙලා ය. හෙට සිට ඒ සියල්ල වෙනස් වනු ඇතැයි උන් පොරොන්දු දෙමින් සිටින්නා හ.

අපට තිබෙන්නේ ඒවා පිළිගන්නට ය. නැත්නම් වෙන්නේ අපත් බටහිරට කත් අදින දේශද්‍රෝහීන්ගේ ගොඩට වැටීමට ය.

එහෙත් පරහ ඇත්තේ උන් කියන එක පිළිගන්නා විට පහුගිය වසර හයේ ආණ්ඩුවේ කැරැට්ටුවට වෙන හරිය ය. එතකොට සනාථවන්නේ අප විසින් එලිදරව් කළ හිස් හුඹහේ කාරණාව ය. නැත්නම් කාපට් ඇතුළට රිංගවන ලද දුගද හමන කුණු පිළිබද කාරණාව ය.

එයින් අමතරව අදහස්වන්නේ කොළ මාරුවුනත් කුට්ටම එක බැවින් වැඩි වෙනසක් ඉදිරියේදී ද සිදුවිය නොහැකි බව ය.

පිළිගෙනත් බැරි ය. නොගෙනත් බැරි ය. අනේ අපොයි වෙච්චි නස්පැත්තිය!

Posted in: Uncategorized