තමන්ගේ මොළය වෙන කෙනෙකු විසින් සෝදනු ලැබීමෙන් වැළකීමට

Posted on May 8, 2010



ආණ්ඩුව විසින් ජනතාවගේ මොළ සේදුවේ කෙසේ දැයි අපි මීට පෙර ලීවෙමු.

අද ලියන්නට යන්නේ අනුන් විසින් ඔබව ඒ අයට වුවමනා ආකාරයට මෙහෙවනු ලැබීමට අකමැත්තේ නම් වෙනත් ආකාරයකට කියනවා නම් වෙන කෙනෙකු ඔබෙ මොළය හෝදනු ලැබීමට ඔබ අකමැත්තේ නම් ඔබට ගත හැකි ක්‍රියාමාර්ග තිබෙන බව කීමට ය. ඒවා අතර පහත සදහන් කාරණා ද තිබේ.

1  ඔබ වෙත යම් කිසිවෙකු විසින් ඉදිරිපත් කරන කරුණුවල නිරවද්‍යතාවය වෙනත් මූලාශ‍්‍රයන් විශේෂයෙන් වඩා ස්වාධීන මූලාශ‍්‍රයන් ද භාවිතා කර විමසා බැලීම

2  එකම කදවුරකට අයත් නොවන විවිධ පසුබිම්වලින් පැමිණෙන විවිධ මත දරනා පුද්ගලයින් සිටිනා සංවාදයන් ඇති කිරීමට දිරිදීම මගින් ප‍්‍රශ්නයක සියලු පැතිකඩ නිරාවරණය කර ගැනීම

3  අධිකාරී මතය නිල මතය පිළිබදව ද කුකුසක් ඇති කර ගැනීම

4  ඔබට මුලින් ම දැනුණ දුටු කියවූ යමකින් ඔලුව කුරුවල් කර ගන්නේ නැතිව සියලු දෙයට විවෘතව සවන් දීමට හුරුවීම

5  ඔබ විසින් ම සාදාගත් නිසා පළමුව සොයා ගත් නිසා හෝ ඇසූ නිසා ඒ ගැන අනවශ්‍ය ආලයක් බැදීමක් ඇති නොකර ගැනීමට ප‍්‍රවෙසම් වීම

6  හැකි හැම වෙලාවකම ප‍්‍රමාණයන් ගැන සංඛ්‍යාලේඛන ගැන සංසන්දනාත්මක ගණනයන් ගැන සැළකිලි මත් වීම

7  යම් සංවාදයක්තුළ උපවාදයන් ගණනාවක් තිබෙ නම් සංවාදයේ අවසාන නිගමනය ගොඩනගා ඇත්තේ ඒ උපවාදයන් දම්වැලක කැබලි මෙන් එකට සම්බන්ධ කර නම් ඒ හැම පුරුකක්ම නිවැරදි විය යුතු බව මතක තබා ගැනීම

8  යමක් පැහැදිලි කිරීම සදහා මාර්ග දෙකක් තිබෙ නම් එයින් සංකීර්ණ පැහැදිලි කිරිම ම නිවැරදි නොවන්නට ඉඩ තිබෙන බව මතක තබා ගැනීම

9  පැමිණ ඇති නිගමනයන්ගේ නිරවද්‍යතාවය පරීක්ෂණයක් මගින් ඔප්පු කළ හැකි දැයි යන්න ද ඒ සදහා අවශ්‍ය ඉඩකඩ නිගමනයේ අයිතිකරුවන් විසින් ලබා දීමට සූදානම් ද යන්න ගැනත් සැළකිලි මත් වීම

10  පාලක පරික්ෂණයකට ඉඩ කඩ තිබෙ දැයි සෙවීම. උදාහරණයක් හැටියට දඩුවම් වැඩි කිරීමෙන් අපරාධ අඩුකළ හැකි යයි කෙනෙකු කියන්නේ නම් එසේ දඩුවම් වැඩි රටවල අපරාධ සංඛ්‍යාව වාර්ථා වන හා නොවන ඒවා ද ඇතුළුව සංඛ්‍යාලේඛන තිබෙ දැයි බැලිය හැකි ය.

11  පුද්ගලයින් සම්බන්ධව කරන පරික්ෂණ වලදී ඒ පුද්ගලයා තමන් පරික්ෂණයකට ලක් කරන්නේ ය යන දැනුම නිසා පරීක්ෂණ ප‍්‍රතිඵල කිනම් බල පෑමක් ඇතිකරන්නේ ද යන වග සෙවීම

12  කෙනෙක් සංවාදයේ දී ප‍්‍රතිවාදියාගේ තර්ක බිද දමන්නට ගන්නා උත්සහයට වඩා ප‍්‍රතිවාදියාට පුද්ගලිකව පහර ගසා ඔහු පරයා යන්නට හදන්නේ ද යන්න ගැන සැළකිලිමත් වීම

13  වාදයේදී තෝරාගත් කරුණු පමණක් ඉදිරිපත්කරන්නේ ද යන්නත් තීරණාත්මක කාරණා වුවමනාවෙන් මග හරින්නේ  ඇයි ද යන්නත් පිළිබද විමසිල්ලෙන් සිටිම

14  ප‍්‍රධාන ප‍්‍රස්තූතය අමතක වන ආකාරයට උප ප‍්‍රස්තූතයන් ඉදිරියට ගේන්නේ ද ඒවායින් ඔබ්බට ප‍්‍රධාන ප‍්‍රස්තූතය වෙත පිළිවිසීම මගහරින්නේ ද යන්න ගැන විමසිල්ලෙන් සිටිම

15  සංඛ්‍යාලේඛන වල ස්වභාවය පිළිබද දැනුම වුවමනාවෙන් හෝ නොදැනුවත්කමින් මග හරින්නේ ද යන්න;  වැය ගැන කතා නොකර අය ගැන කතා කිරිම; දියුණුව ගැන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරිමෙදී අහම්බෙන් වූ දේ වුවමනාවෙන් සිදුකළ දෙය ලෙස උලුප්පා දැක්වීම

16  එකකට පසු අනෙක සිදුවූ නිසා පසුව වූ දෙයට හේතුව මුල් දෙය බව වෙනත් කිසිදු කරුණක් නොදක්වා කියා සිටීම

17  පැරණි යල්පැන ගිය දේ අලුත් භාජනවල දමා අලුත් පැකිංවල ඔතා අලුත් ලේබල් අලවා ඉදිරිපත් කරන්නේ දැයි බැලීම

18  අනාගතය යනු හැම විටම අතීතයේම  තාර්කික විකාශනයක් ලෙස දැකීම

19  යම් සිද්ධි දෙකක් ඒවායේ පසුබිම (පැවති සුවිශේෂි තත්වයන්) ගැන නොසළකා  සංසන්දනය කිරිම

20  අනාගතය පිළිබද බියජනක යමක් පා වර්තමානය නොසළකා හැරීම

21  වර්තමානය ගැන සොදුරු චිත‍්‍රයක් ඇද ඒ පිටුපස අනාගතය හංගා තැබීම

Posted in: Uncategorized