රටට කෙළවුනත් කමක් නැති දේශපාලන ගමන!

Posted on May 7, 2010



තිස්පහක් වෙනවා යැයි කී ඇමති මණ්ඩලය ඒ සීමා බිද දමා විශාල වෙමින් තිබෙ. බූරු කුට්ටම නැවත ඇනුවාට වඩා වෙනසක් එහි නැත. ඒ ගැන අප කලින්ද කීවෙමු. එහෙත් ඒ ඇනූ කුට්ටම ද වැඩිකලක් පවතින්නේ නැතිව නැවතත් අනන්නට ඉඩක් ඇතැයි කියැවෙ. ඒ නොවැම්බරයේ එළඹෙතැයි කියන පදවි ප‍්‍රාප්තියට සමගාමීව ය.

ඒ අනුව කැබිනට් මණ්ඩලය පත් කර ඇත්තේ ඊළග නොවැම්බර් වෙන කම් විතර ය. එහෙම කියන්නේ කිනම් හේතුවක් නිසා දැයි දන්නේ දෙවියන් පමණකි.

හැබැයි ඒ නිසා රටට වන විපත වටහා ගැනීමට දෙවියන් අවශ්‍ය නැත.

නොවැම්බරයේ මාරුවන්නට තියෙන ඇමති පදවියක් දැරීමේ දී ලොකු දේ කරන්නට යාම තේරුමක් නැති වැඩක් බව ඇමති වරු කල්පනා කරනවාට අමතරව ඇමති මාරුවන්නේ නම් කල් බැලීම වඩා හොදයයි සිතීමට නිලධාරීන් පෙළඹවීම ද වැළැක්විය නොහැකි ය.

දේශපාලන ස්ථාවරයත්වය මෙතරම් ලබා දීත් නැවතත් එය කඩා වැටෙන්නට යන දුර්වල අත්තක් බවට විහින් පත් කරගන්නට යන්නේ මොන නුවණක් අනුව දැයි අපට නම් වැටහෙන්නේ නැත.

සමහරවිට එ‍සේ කරන්නට ඇත්තේ දුකට පත් ඇමතිවරුන්ට නව බලාපොරොත්තුවක් දෙන්නට අදහස් කරන නිසා වන්නට පුලුවන. පරණ බූරු කුට්ටමම නැවත අනා ඇතැයි සිතන ජනතාවට යම් බලාපොරොත්තුවක් ඇතිකිරීමට වන්නට ද පුලුවන (ඒවා තුළින් මතුවන්නේ ස්ථාවර බලයක් ලද රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු නොව ලද බලය ගැන තවමත් විශ්වාසයක් නැති පැරණි දේශපාලනඥයාම ය).

එහෙත් රට නැවතත් ස්ථාවරවන්නට ඉඩ නොදී මෙසේ තබා ගැනීම ගැන දෙවරක් සිතා බැලිය යුතු නැත් ද? හැමදාමත් තමන්ගේ දේශපාලන ව්‍යපෘතිය රටට ඉදිරියෙන් තබා යන මේ ගමනේ කෙළවර කුමක් ද?

මේ ප්‍රශ්න නගන අප දේශද්‍රෝහීන් නොකර මේවාට උත්තර දීමට ආණ්ඩුවේ ගෝලබාලයන්ට පුලුවන් ද?

Posted in: Uncategorized