තිස්සනායගම් – ඔබ ලද නිදහස අපට සතුටකි. ඒත් ප්‍රගීත් කොහිද?

Posted on May 6, 2010



ආණ්ඩුව සිය ප‍්‍රතිවාදීන් සම්බන්ධයෙන් පහසුවෙන් දණ නමන්නේ නැති පිළිවෙලක් දිගටම අනුගමනය කළේ ය. එවන් වටපිටාවක තිස්සනායගම්ට ජනාධිපති සමාවක් දීමට ගත් තීරණය විමසීම වටින්නේ ය.

ආණ්ඩුව ආර්ථික වශයෙන් ඉන්නේ අමාරුවක ය. යුරෝපා සංගමය ජීඇස්පී + සහනය ලබා දීමට මානව හිමිකම් කොන්දේසියක් ලෙස ඉදිරිපත් කරයි. ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම මෙන් නොව ලිපියක් ලිවීම සම්බන්ධයෙන් මාධ්‍යවෙදියෙකු වසර 20 ට හිරෙ යැවීම ගැන පහසුවෙන් අත පිසදා ගැනීමට ආණ්ඩුවට නොහැකි ය.

තිස්සනායගම්ගේ නමින්ම සදහන් කරමින් බරක් ඔබාමා කර තිබූ ප‍්‍රකාශය ද සැළකිල්ල ට නොගෙන ධනේෂ්වර සංවර්ධනයක් ගැන සිතීම තරමක් අමාරු ය.

වසර ගණනාවක් තිස්සේ ගා ගත් කුණු හෝදා ගෙන පිරිසිදු නොවුවහොත්රට කොහොම වෙතත් තමන්ගේ අනාගතය අස්ථිර ය.

මෙ සියල්ල කල් ගත වී හෝ තේරුම් යාම නිසා සිදුවී ඇති දේ යහපත් ය. ඒ අප ද හඩක් නැගූ තිස්සනායගම් නිදහස් වීම ය.

එය ප‍්‍රතිරූපයට සුදු හුණු ගෑමක් ලෙස අවසන් වෙ නම් රටට ඉන් අත්වන සෙත සීමිත ය. ඒ නිසාම අපට අත්වන ප‍්‍රීතිය ද සීමිත ය.

තිස්සනායගම් කොටියෙකු කළ අපේ මිත‍්‍රයන් දැන් කුමක් කියන්නේ දැයි අප අසන්නේ නැත.

ඒකාධිපති පාලකයෙකුට වුව ලෝක ජනමතයට හිස නමන්නට සිදුවන බව දැන ගැනීම පමණක් වුව අපට සතුටක් ගෙන දෙන බැවින් ඒ පාලකයින්ට කඩෙ ගිය වුන්ට අමතර ප්‍රශ්න නගා උන් රිදවා අමතර සතුටක් ගැනීමට මේ මොහොතේ අවශ්‍ය නොවන නිසා ය.

මීට ළගින් යන තවත් වැඩක් ඊයේත් වුනේ ය. ඒ ලංකාවේ ප්‍ර‍ජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගැන සංවේදී වූ ලෝකෙටත් මාධ්‍ය නිදහසටත් ඔලොක්කු කරමින් කරන ලද මර්වින්ගේ මාධ්‍ය නියෝජ්‍ය ඇමති පත්වීම ආණ්ඩුව විසින් ම (මර්වින් ලවාම) අකුලා ගැනීම ය. ඒ වනවිට මර්වින් මාධ්‍ය නියෝජිතයින්ට කේක් කවා බටර් ගා අවසන් වුනා පමණි. තිස්ස සම්බන්ධයෙන් ගත් පියවරෙන් ප්‍රකාශවනවාටත් වඩා මර්වින්ගේ අමාත්‍ය ධුරය අකුලා ගැනීම සිදුවෙමින් තිබෙන වටපිටාව ගැන අපට ප්‍රබල ඉගියක් සපයන්නේ ය.

පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදී ඥානය නිවහල්වී
බියෙන් තොරව හිස කෙළින් තබා ගෙන සිටිනට හැකි කොහේදෝ
ඒවු නිදහසේ ස්වර්ග රාජ්‍යයයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

වඩාත් බලාපොරොත්තුව සහිතව අපට දැන් තාගොර්ගේ ඒ අදහස සහිත ගීය සතුටින් ගැයිය හැකි ය. ඒ අපත් හඩක් නැගූ කාර්යයක් අඩකින් හෝ ජයගැනීමේ සතුට ද ඇතිව ය. තිස්සනායගම් සගයා නිදහස ලැබීමේ සතුට ද ඇතිව ය.

ප්‍රගීත් එක්නැලිගොඩ ගැන තවම ආණ්ඩුවේ කටේ ඇත්තේ පිට්ටු ය. ඒ පිට්ටු ද හිරවෙන දවසක් එනු ඇත. අපේක්ෂා අත් නොහැර බලා සිටිමු.

Posted in: Uncategorized