ශ්‍රී ලාංකිකයෙකු ලෙස ආඩම්බර වීමට අපිත් කැමැත්තෙමු. ආඩම්බර විය හැක්කේ කුමක් ගැන ද?

Posted on May 5, 2010



නිදහස ලබා ගෙවුණු වසර 62 ක කාලය තුළ අප දකුණේ කැරලි දෙකකට ද උතු‍රේ දිග්ගැස්සුණු යුද්ධයකට ද මුහුණ දුනිමු. ඒ එකකවත් වගකීම රට කරන පාලකයින් විසින් බාර ගත්තේ නැත. එහි වගකීම විජේවීරටත් ප්‍රභාකරන්ටත් පවරා උන් අත පිසදා ගත්හ.

___________________________________________________________

In reality, though, the first thing to ask of history is that it should point out to us the paths of liberty the great lesson to draw from revolutions is not that they devour humanity but rather that tyranny never fails to generate them.

-- Pierre Elliott Trudeau, "When the People Are in Power"

___________________________________________________________

නිදහස ලබා ගෙවුණු වසර 62 කාලයෙන් වැඩි පංගුව අප රටේ ජනතාව ගෙවා ඇත්තේ හදිසි නීතිය යටතේ ය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කී හැටියට ඔහුගේ මුලු ජීවිතයම ගෙවා ඇත්තේ හදිසියක් තිබූ රටක ය. ඒ මගින් අපි හැම විටම හදිසියෙන් දිවි ගෙවන ජාතියක් බවට පත්වී ඇත්තෙමු. එහෙත් බොරුවට කදුලු පෙරනවා විනා ඒ තත්වය වෙනස් කිරීමට වුවමනාවක් අපගේ පාලකයින්ට නැත.

ඒ දෙකම දේශපාලන ක්ෂේත‍්‍රයේ අපේ හපන්කම් ය.

සුද්දා හැදූ රෙල් පාර අගලකින් හෝ දික් නොකළ අපි එයින් සෑහෙන කොටසක් මේ වනවිට වසා දමා ඇත්තෙමු.

තවමත් මං තීරු දෙකට වැඩි පාරක් අපට නැත. ගුවන් පාලම් දෙක තුනක් හදා ඊට නගන පම්පෝරිය දකින විට ඇති වන්නේම දුකකි.

පෙර කල්ලතෝනීන් එනවාට වැට කඩොලු බැන්ද අපට අපෙ රටේ මිනිසුන් නවත්වා ගැනීමට හා උන් කල්ලතෝනීන් වනවාට වැට බදින්නට සිදුව තිබේ.

එන්න එන්නටම ගෑණුන්ගෙන් ජීවත්වන රටක් බවට අපි පත්වෙමින් ඇත්තෙමු. වතුකරයේ ගැහැණුන්ගෙන්ද ගාමන්ට් ෆැක්ටරි වල කෙල්ලන්ගෙන් ද මැද පෙරදිග බලා යන අපේ ගැහැණුන්ගෙන් ද අපි ජීවත් වෙමු. එසේ කරන අතරේ උන්ගේ ඉදිරි පරම්පරාවන් කීපයක්ම අපි උගස් කොට ඇත්තෙමු.

අඩු වශයෙන් උන්ට සිදුවන අකරතැබ්බයන් ගැනවත් සැළකිය යුතු කිසිවක් කිරීමට අපොහොසත් ජාතියක් බව අප දිගින් දිගටම පළ කර ඇත්තෙමු.

අයවැයක් ඉදිරිපත් කිරීමටවත් බැරි ආණ්ඩුවක් අප වැඩි චන්දයෙන් පත් කරගෙන තිබේ.

මෙ සියල්ල සිදුවන්නේ ආර්ථික ක්ෂේත‍්‍රයේ ය.

සංස්කෘතික ක්ෂෙත‍්‍රයේ යම්තම් අමාරුවෙන් ගොඩ නගා ගෙන ජාත්‍යන්තර කීර්තිය ලබා ගත් අපේම නිර්මාණ ද අපි පෝරකයට යවා ඇත්තෙමු.

කලා කරුවන් යැයි සැළකිය හැකි යමෙක් වූයේ ද උන් කඩේ යවා හෑල්ලුවට ලක්කොට තිබේ.

දරුවන්ට උගැන්වීම සදහා උන් බංගලාදේශයටද නේපාලයට ද ඉන්දියාවට ද වැනි අපටත් වඩා මිනිස් සංවර්ධන දර්ශකයින්ගෙන් පසු පස ඉන්නා රටවලට යවන්නට අපට සිදුව තිබේ.

උගත් දරුවන්ට රැකියාවට අදාළ පත්වීම් ලිපිය ලබා ගැනීම සදහා දේශපාලනඥයින් ඉදිරියේ දණ ගස්වන හෝ අඩු වශයෙන් නැමෙන තැනට පත් කර තිබේ.

සිය දිවි නසා ගන්නන් අතින් ද මත්පැන් භාවිතය අතින් ද අපි ලෝකයේ වසර කීපයකම කප් ගසා ඇත්තෙමු. ඒ උදේ හවා බණ ද පිරිත් ද අසමින් ය.

එහෙම තත්වයක් යටතේ ආඩම්බර විය හැක්කේ කෙසේ දැයි කවරෙකු හෝ පහදා දෙනවා නම් අපත් ආඩම්බර වීමට ලෑස්ති ය.

Advertisements
Posted in: Uncategorized