ලංකාවෙ පවතින්නේ ධනවාදය ද? වෙනත් බහු භූතයක් ද? – W3 Lanka, Ramachandra and Taboo සංවාදයට එකතුවක්

Posted on May 3, 2010



ලස්සණ විවාදයක් අවලස්සණ විදිහට යන නිසා මැදිහත් වන්නට සිතුවෙමි. ඇත්තටම ලංකාවෙ පවතින්නේ කුමක් ද? ධනවාදය ද? වෙනත් බහු භූතයක් ද?

ලංකාවේ ආයතන බො‍හෝමයක පහළ සේවකයින් ඉහළ කළමනාකරුවන් අමතන්නේ සර් යන ගෞරව පදයෙනි. කළමනාකරු එන විට නැගිට එකපත් පස් භාවය ද යටහත් භාවය ද උන් පෙන්නුම් කරති. ඉහළ කළමනාකරුවා කියන දෙය නීතිය ලෙස පිළිගෙන උන් වැඩ කරති. ඔහු වෙනුවෙන් පෞද්ගලික මට්ටමෙන් කටයුතු ද ඉටු කර දෙති. ඔහු ඉටු දෙවියෙකු කර ගැනීමට පහළ සේවකයින් කැමති ය.

ඊට සමාන්තරව කළමනාකරුද සේවකයින්ට විවිධ සංග්‍රහයන්හි යෙදෙයි. ඒ මළ ගෙදරට දානයට මගුල් තුලාවට උදව් පදව් කිරීමෙනි. ඒ සදහා ආයතනයේ සම්පත් වියදම් කිරීමෙනි. පිටින් එන තර්ජනයන්ගෙන් ඔහු රැක ගැනීමෙනි.

ඇත්තටම මේ සම්බන්ධය ධනවාදී සමාජයක සේවක සේව්‍යය සම්බන්ධයට වඩා වෙනස් ය. අඩු වැටුපක් යටතේ වුව මෙවැනි සංවිධානයකට මිනිසුන් වැඩ කිරීමට කැමති ය. මක්නිසා ද යත් නින්දගමක රදළ ස්වාමියා මෙන් විපතේ දී තමන් ගැන සොයන උනුවන පිතෘවරයෙකු දැන් ඔහුට සිටින නිසා ය. මේ සම්බන්ධයේ වැඩි වාසිය ලබන්නේ සේවකයා නොව සේව්‍යයා ය. සේවකයා සැනසෙන්නේ ඔහු ඉන් ලබන සුරක්ෂිත තාවය සිහි කර ගෙන ය.

සේවකයින් හැටියට බොහෝ විට ගන්නේ ද ලේ සබදකම් ඇති හෝ එසේත් නැතිනම් තමන් ජීවත්වන ප්‍රදේශයේ ගමේ වෙනයම් හිතවත් කමක් ඇති අයවළුන් ය.  එසේ බදවා ගැනීමම සේවකයා විසින් තමන්ට කරනු ලබන අනුග්‍රහයක් හැටියට ද සැළකේ. බොහෝ විටක වැඩ කරන අයගේම දරුමල්ලන් සොහොයුරු සොහොයුරියන් හට මෙහි රැකියාවක් ලබා ගත හැකි ය. අඩුවශයෙන් උන්ට ප්‍රමුඛත්වය ලැබේ.

නින්දගමක වැඩවසම් ප්‍රවේණි දාසයා ලබන ජීවත්වීමේ අයිතියට සමාන යමක් මෙහිදී සේවකයා සම්බන්ධයෙන් ද සේව්‍යයා විසින් තහවුරු කර ඇත්තේ ය.

සේවකයා ආයතනයක සේවකයෙකු ලෙස නොව හාම්පුතාට සේවය කරන ප්‍රවේණි දාසයෙකු ලෙස අර්ථ ගන්වා තිබේ. හාම්පුතාගේ කැමැත්ත ඇතිතාක් ඔහුට රැකවරණය ද වෙනත් ප්‍රතිලාභ ද ලැබේ.

ඉදිරියට යන්නේ ද සාර්ථකත්වයක් ලබන්නේ ද මෙවැනි සම්බන්ධයකට ඉඩ සළසන ආයතනයන් ය.

දේශපාලනයේ ද අප දකින්නේ මීට සමාන සංසිද්ධියකි. චන්ද දායකයාගේ සම්බන්ධය ඇත්තේ දේශපාලන පක්ෂයක් සමග නොවේ. පුද්ගලයින් සමග ය. අපේක්ෂාව ප්‍රතිපත්ති නොවේ. තමන්ගේ ස්වාර්ථය සළසන සිල්ලර වැඩ ය.

අම්පාර නියෝජනය කරන නිවාස ඇමතිනියට ජාතියට නිවාස සැළසීම වෙනුවට අම්පාරට සැළකීම ප්‍රමුඛත්වයේ ලා සැළකීමට සිදුව ඇත්තේ එහෙයිනි. එසේ නොකරන විට ගෙදර යන්නට සිදුවන්නේ ද ඒ අනුව ය.

ගමට බෝක්කුවක් හැදීම ප්‍රජාතන්ත්‍රවාදය රැකිමට වඩා සාධනීය කාරණයක් වන්නේ එහෙයිනි. ප්‍රතිපත්ති රකින ශීලාචාර දේශපාලනයක් වෙනුවට ගමේ උදවියට රස්සාවක් දෙන්න පුලුවන් ඇමතිවරයෙක් මිනිසුන්ට අවශ්‍ය වන්නේ එහෙයිනි.

ධනවාදය තුළ විධිමත් ආයතනවලට වටිනාකමක් ඇති මුත් වැඩවසම් සමාජයක වඩා වැදගත් වන්නේ රදළයා සතු බලයයි. ඒ හරහා දාසයන්ට ලබා ගත හැකි සිල්ලර වරප්‍රසාද සමූහයයි.

වැඩවසම් සමාජය සුද්දාගේ ධනවාදය බාර ගත්තේ තමන්ට ඕනෑ පරිදි සං‍ශෝධනය කරලීමෙන් ය. ඉතා සියුම් වැඩ වසම් බන්ධනයක් විවෘතව ක්‍රියාත්මක වන ධනවාදී සමාජය යටින් ක්‍රියාත්මක වනු අපට දැකිය හැක්කේ  ඒ අනුව ය. ඒ අධිරාජ්‍යවාදයේ වරදින් නොව වැඩවසම් පසුගාමී අපේ වරදින් ය.

නිදහස ලබා ගත් දා සිට අද දක්වා ඉතිහාසය යනු මේ පසුගාමීත්වය රජ කරලීම සදහා නිදහස උපයෝගී කර ගැනීමේ ඉතිහාසයයි. අධිරාජ්‍යවාදය විසින් මෙහෙයවු ධනවාදය ලංකාව තුළ පරාජය ලබා ඇත. ධනවාදය වැඩවසම් රටාවකට අනුව නැවත හැඩ ගැසී අවසන් ය.

මේ නිසාම ධනවාදයට සැපයිය හැකි අවම වටපිටාවක් ද ලංකාවට ඇති කර ගත නොහැකිව තිබේ. එහි වගකීම අධිරාජ්‍යවාදීන්ට පැටවීමෙන් අප කරන්නේ ප්‍රශ්නය කුරුවල් කිරීම ය.

ධනවාදය හරි ද වැරදි ද යන්න ඉතිහාසය විසින් තීන්දු කරනු ලබන කාරණයකි. ඒ ගැන යමක් කීමට තවම කල් වැඩි ය.

එහෙත් යමක් ඇතිකළ හැකි ධනවාදය අප‍ රටේ උරුමක්කාරයින් හා පොල්මක්කාරයින් විසින් උන්ගේ වුවමනාවන්ට අනුව සංශෝධනය කරනු ලැබ තිබේ. අප සිංගප්පූරුවක් හෝ මැලේසියාවක් වෙනුවට මියන්මාරයක් බවට පත්වෙමින් තිබෙන්නේ ඒ අනුව ය. අපේ වත්මන් ඛේදවාචකය ඇත්තේ ඒ තුළ ය. ඒ ගැන වගකීම බාර ගන්නේ නැතිව බාහිර බලවේගයන්ට පැවරීමෙන් අප කරන්නේ අප විසින් කළ යුතු ව තිබෙන කාර්යයෙන් බැහැර වීම ය.

Posted in: Uncategorized