මිහිදු මහ සෑයට හෙණ වැදිලා ය

Posted on April 28, 2010



අද පෝය දිනයයි. බෞද්ධයින් තමන්ගේ සිත සන්සුන් කර ගෙන ධර්මය දෙස යොමුවන්නාවූ දවසයි. ඒ ධර්මය විමසමින් තමන්ගේ ඇතුළාන්තයන් පිරිසිදු කර ගන්නා දවසයි. තමන්ගේ ඔලු තුළ ඇති මිත්‍යාවන් ද අකුසල චිත්තයන් ද ඉවත් කරගන්නා දවසයි.

සන්සුන් කර ගත් සිතින් යමක් මෙනෙහි කිරීම කලබල සිතකින් යමක් විමසීමට වඩා යහපත් ය. විපස්සනා භාවනාවට පෙර සමථ වඩන ලෙස බුදුන් සිය ශ්‍රාවකයින්ට දේශනා කළේ එබැවිනි. අප අද කතාකරන්නට යන මාතෘකාව කතා කළ හැක්කේ සන්සුන් සිතින් යමක් දෙස බලන්නට පුරුදු පුහුණු වූ මිනිසුන් සමග පමණකි. පෝය දවසක එවැනි අය වැඩිපුර ඇතැයි උපකල්පනය කළෙමු. දැන් මාතෘකාවට…

මිහින්තලේ මිහිදු මහ සෑයට හෙණ වැදිලා ය.

අමු අමුවේ කිව්වහම ප්‍රශ්නකාරී විය හැකි මුත් විමසන සිතකට ඒ සිත සන්සුන් වේ නම් මේ අමුව වැදගත් ය.

මෙම කාරණය අල්ලා ගෙන බුද්ධාගමට හෝ ශාසනයට අපහාස කිරීමට අපට තැත් කරතැයි ඉක්මන් නිගමනවලට එවන් කෙනෙක් බසින්නේ නැත.

මහින්ද මහරජාගේ කාලයේ මිහිදු සෑයටම මෙහෙම දේ සිදුවන්නේ ඇයි දැයි ප‍්‍රශ්න කරමින් රජය අපහසුතාවයට පත් කිරීමට ද අපට වුවමනා නැත. අපේ දේශපාලනය නිසා කෙනෙකුට එසේ සිතිය හැකි මුත් අද දවසේ අපේ අපේක්ෂාව ඊට ද වෙනස් ය.

අප අපේක්ෂා කරන්නේ මෙයින් කියන එක් සනාතන සත්‍යයක් ගැන අපේ මතය අපේ පාඨකයින් හා බෙදා ගන්නට ය.

සුනාමිය පැමිණි වෙලේ බුදුපිළිම වලට මුකුත් වුනේ නැතැයි කියා මහා ඝෝසාවක් ගෙන ගියා අපට මතක ය. එයින් අනියමින් කියවුනේ මියගිය අය පාපතරයන් බවත් කිසියම් හෝ පිනක් තිබූ සැවොම ඉන් ගැලවී ගිය බවත් ය.

වෙනත් ආගම්වල උදවිය ද සෙකන්ඩ් වූයේ නැත. පල්ලි සුරුවම් දේව මාතා රූප මෙසේ සුනාමියෙන් ආශ්චර්යෙන් ගැලුවුනු දේවල් විය.

සුනාමියෙන් නොගැලවුනේ පව් කාරයින් ය.

මෙම කාරණය තමන්ගේ හිතේෂීන් අහිමිවූ අයට කොතරම් වෙදනාවක් ගෙන දුන්නේ ද යන්න අපි දනිමු.

එහෙත් ඒ පිළිබද වගේ වගක් නැතිව ගඩොල් සිමෙන්ති වලට ඒවායින් හැදූපිළිමවලට සුවිෂේසි බවක් ආරූඪ කරගෙන තමන්ගේ ආගම් උඩ දැමීම ට සමහරු කටයුතු කළා ද අපට මතක ය.

අප මෙ කැදවන්නේ එසේ කළ උන් ය.

දැන් ඉතින් මහ සෑය හෙණ වැදුනේ ඇයි දැයි උන් අපට පැහැදිලි කළ යුතු ය.

අප දන්නා භෞතික විද්‍යාවට අනුව භෞතික විද්‍යාවෙ නීති පින් පව් අඳුනන්නේ නැත. ඒ නිසා අකුණු සන්නායක නැති ඔනෑම ශුද්ධතැනක් ඉහළින් ඇත්නම් හෙණයකින් විනාශ විය හැකි ය.

මෙම ඇත්ත වසන් කර ගෙනි යන බොරුව නිරාවරණය කිරීමට ලද අවස්ථාවෙන් අප ප‍්‍රයෝජන ගත යුතු බව අපට දැනිණි. අපට ගල් ගහන්නට කලින් ඒ ගැන සිතා බලනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Posted in: Uncategorized