වාසු හා තිස්ස විතාරණට පිළිකන්න

Posted on April 27, 2010



වාසුට නාමයෝජනා ලැබුනේ ය. ඇත්තටම ඊට සුවිශේෂ හේතුවක් තිබිණි. වාසු පුද්ගලයෙක් හැටියට ඇහැලියගොඩ ජනප‍්‍රිය ය. තමන්ට තිබෙන සොච්චම් බලයක් වුව භාවිතාකර පුංචි මිනිහෙකුට යමක් කර දීමට ඔහු නොපැකිළෙන්නේ ය.

ඒ කාරණය ආණ්ඩුව එපා වී ගෙදර ඉන්නට තීරණය කරන වමෙ මිනිහෙක් චන්ද පොළට කැන්දන්නට  සමත් ය.

ආණ්ඩුව එයින් ප‍්‍රයෝජන ගත්තේ ය. වාසුට ඒ නිසාම මන්ත‍්‍රී පදවියක් ලැබුනේ ය. ආණ්ඩුවට චන්දත් මන්ත‍්‍රී පදවියකුත් ලැබුනේ ය.

මහින්දගේ එතරම් හිතේෂී ජනතා මිත‍්‍රයාට ඇමති කමක් දීමට තරම් අමතර හේතුවක් ඒ අනුව මහින්ද ට නැත. දැන් වැඩෙ අරන් ඉවර ය.

රෙද්ද අස්සට දමාගෙන කනවා යයි කියන්නට සිදුවන අය සමග ගමනක් මහින්ද ට නැත. වාසු ඔනවාට වඩා කෙළින් ය. ඇදේ යන ගමනක් එහෙම ඇදේ යන්නට අදි මදි කරන අය සමග යන එක අමාරු ය. ඇත්තටම වාසුගේ සුජාත භාවය ද රැකගෙන රජය වෙනුවෙන් යමක් වාසුට කළ හැක්කේ එලියේ සිටීමෙන් ය.

තිස්ස විතාරණ වුවමනා වුනේ ඉන්දියාවට විසදුමක් හදන බව කියන්නට ය. දැන් එවැන්නක් නැති තත්වයක් යටතේ තිස්සට ඇමතිපදවියක් දීම අනවශ්‍ය බරක් කර ට ගැනීමකි. ඇමති පදවි අහිමිවූ අතක ඇගිලිවලින් ගණන් කරන්නට පුලුවන් කීප දෙනා අතරට තිස්ස ද එක්වන්නේ ඒ අනුව ය.

සමසමාජය දැන් වහපු කඩයක් වුනාට ඊට පරණ මිත‍්‍රයෝ සිටිති. ආණ්ඩුවට වමෙ පාටක් එකතු වෙන්නේ ඒ සන්ධානය නිසා ය.

ඔය වගේ සිල්ලර කාරණා පිරිමසා ගැනීම හැරුණුකොට දැන් වමෙන් වැඩක් නැත.

ඉතින් උන් පිළිකන්නේ නොදා කූඩුවක එල්ලා තියන්න ද?

Posted in: Uncategorized