ඩලස්ට අගු පිල!

Posted on April 26, 2010



රාජපක්ෂ මහරජතුමා ගැන බොහෝ දෙනා දැන ගන්නා විට ඒ උදවියට විය යුතු හරිය වෙලා ඉවර ය.

රාජපක්ෂ රජතුමාගේ සෙවනැල්ල යටතේ හිටිය හැක්කේ ආත්මය පාවා දීමට කැමති නිවටයින්ට පමණකි. තමන් එසේ නොවේ යැයි සිතා සිටි බොහෝ උදවිය උත්සවශ්‍රීයෙන් තම සෙවනැල්ලට යටට කැන්දන රජතුමා ඉන්පසු උනට පිල පෙන්වන සිරිතක් දැන් බොහෝ කලක සිට ගෙන යන්නේ ය.

එයාට එහෙම කරාට මට නම් ‍එතුමා එහෙම කරන්නේ නැතැයි සිතන්නට බොහෝ බත් බැලයන් කැමති ය. එහෙම සුවිශේෂ කෙනෙක් රජවාසල නැතැයි තේරුම් යන කොට වෙන්න ඕන හරිය වෙලා ඉවර ය.

බල්ලෙකුට බළලෙකුට කළ හැක්කේ ස්වාමියා දෙන දෙයක් කා පිටින් එන මිනිහෙකුට ගෙම්බර් දැමීමට හෝ පුස්පාට් දැමීමට පමණකි. ස්වාමියාට ගොරවන්නට හෝ ස්වාමියාගේ හෝ ඒ පවුලට අයිති කිසිවකුගේ තැනක් ගන්නට උන්ට අවසර නැත. එහෙම ගන්නට යන බල්ලන් හා බළලුන්ට අත්වන්නේ ශෝචනීය ඉරණමකි.

ඩලස්ට තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යංශය ලැබෙන්නේ ඒ අනුව ය. ඔහුට අයත් කටයුත්ත වනු ඇත්තේ තාරුණ්‍යයට හෙටක් සදහා හැකි ඉහළම ඉඩ විවර කර දීමට ය.

ස්වාමියා තම දරුවා සමග සෙල්ලම් කර දරුවාට යම් ව්‍යායාමයක් ලබා දීමේ වගකීම ගෙදර සුරතලයට ඉන්නා බල්ලාට පැවරූ විට ඌ නම් බොහෝ සතුටින් ඒ කාර්යය කරයි. සමහර විට ඩලස් ද ඒ අවස්ථාව ප්‍රීතියෙන් බාර ගන්නට ඉඩ තිබේ.

එහෙත් එය කොහෙත්ම ප්‍රතාපවත් කටයුත්තක් නම් වන්නේ නැත. බල්ලෙකුට කරන්නට පුලුවන් වුනාට එවැන්නක් දිගින් දිගට කරගෙන යාමට මිනිසෙකුට අමාරුවන්නට පුලුවන. එය තම නිවට භාවය රජකුමරුට පෙන්නුම් කිරීම සදහා කැපවුණු තනතුරක් වෙනවාට සැකයක් නැත.

හැබැයි දිමුට මෙන් ඉවසා සිටින්නට හැකි නම් වයසට ගිය දවසක තාරුණ්‍යයට හෙටක් යටතේ අගමැති ධුරයට අයිතිවාසිකමක් ඩලස්ට කිව හැකි ය.

මුකුත් නැතිවාට පිලත් හොද යයි ඩලස්ට හිතුනොත් ඩලස් ගොඩ ය. නැත්නම් ඉතින් කන්න වෙන්නේ පරිප්පු ය.

සමාවෙන්න පොඩ්ඩක් වැරදුනා ය.

ඩලස්ට තව විකල්ප කිහිපයක් ද ඉතිරිව තිබෙ. පපුවෙ අමාරුවක් හදාගෙන හේමකුමාර නානායක්කාර මෙන් දේශපාලන ජීවිතයෙන් දෙවැනි වතාවටත් සමුගෙන ඇමරිකාවෙ වාසයට යෑමය.

නැත්නම් ඉතින් කිසිවක් නොලැබූ එහෙත් ඔහොම ගියා මදෑ කියමින් කැහැ කැහැ ඉන්නා හේමකුමාරගේ සොහොයුරු වාසුදේව නානායක්කාර මෙන් ලෝක සත්‍යය කොහොම වෙතත් ලංකාවෙ සත්‍යය මෙ යැයි වටහා ගෙන ජීවත්වීම ය.

ඔය කොයික කරන්නත් හයිය හා පන්නරය ගතවූ කාලයේ එතුමා විසින් ලබාගන්නට ඇතැයි අපි උදක්ම සිතමු.

Posted in: Uncategorized