දිමු දැන් දිනුම් ය!

Posted on April 25, 2010



දිමු අගමැති ය. දිමුගේ ප‍්‍රීතිමත් මුහුණ දකින අපට ද කිසියම් සතුටක් දැනෙයි. මියෙන්නට පෙර යම් තැනකට පත්වීම කාට නම් සතුටක් නොගෙනෙයි ද?

අමාත්‍යංශයක් හැටියට ලැබුනේ බුද්ධ ශාසන වීම කණගාටුවට කරුණක් කරගත්තේ දිමු නොවේ.

ඇත්තටම එවැනි ධනාත්මක චින්තනයක් සහිත කෙනෙක් අගමැති වීමම අප ල ද භාග්‍යයකි.

ගිය සැරේ අගමැතිතනතුරට පත්වෙතැයි සිතිවිල්ලෙන් මසන ලද කෝට් බෑය මෙවර ප‍්‍රයෝජන ගන්නට දිමු සමත් වන්නට ඇතැයි අපි උදක්ම හගිමු.  එහෙම හිතෙන්නේ අන්තිම මොහොත වෙන තෙක්ම තමන් අගමැති තනතුරට පත්වෙන්නේය යන කාරණය දිමු නොදැන සිටි හෙයිනි. තනතුරට පත්වීමට දින දෙකකට පෙරත් ඔහු ඒ ගැන පුවත්පත්වලට ගතු කියා තිබිණි.

හැබැයි දැන් ඇගලුම් කර්මාන්තය දියුණුය. රැය නිදිමරාගෙන වුව අගමැති කෙනෙකුට කෝට්බෑයක් මසා දීමට ඉදිරිපත් වන සන්නාලියන් රට තුළ නොමැතිවන්නට බැරි ය. ඒනිසා සමහර විට දිමු අලුත් කෝට්බෑයක් වුව මහගන්නට ඇත.

ඇත්තටම මෙවර දිමුට අගමැති පදවිය ලැබුනේ ගියවර කෝට්බෑය පිළිබද හද කම්පා කරවන කතාව සංවේදී නායකයාට මතක්වීම නිසා යැයි අපට සිතේ.

තමන්ට තර්ජනයක් නැති වයසක බෙලහීන කෙනෙක් හොයා යන ගමනේ දි මේ කෝට්බෑයේ කතාවත් දිමු ගැන මතක් වෙන්නට අප මහ රජාණන්ට හේතුවක් වුනා වෙන්නට පුලුවන.

කෙසේවුවද  දිමු දැන් දිනුම් ය.

තාරුණ්‍යයට ඇත්තේ හෙටක් බව දිමු ඔප්පු කළේ ය. නැත්නම් දිමු හරහා ආණ්ඩුව ඔප්පු කළේ ය. ඒ හෙට උදාවෙන තුරු අගමැති පදවිය දැරිය යුත්තේ තාරුණ්‍යය පසු කර බොහෝ කල් ගත කළ කෙනෙකි.

රාජපක්ෂ පවුලට සියල්ල අත්වේය යන අදහස මේ නිසා නැතිව යනු ඇතැයි දිමු කියා තිබුනේ ඉරිදා දිවයිනට ය.

දිමු කළ ගුණ සළකන උත්තම පුරුෂයෙක් බව එයින් ද පෙනේ.

තනතුර පියුන් කෙනෙක් තරම් වත් වටින්නේ නැති වුවද කිසිවෙකු නොහිතන මොහොතක එය රට කරවන තීරණාත්මක තනතුර වන්නට ද ඉඩ තිබේ.

දිමුට අපි සුභපතමු.

Posted in: Uncategorized