ආණ්ඩුව ‍ජනතාවගේ මොළ සේදීම කළේ කෙසේ ද?

Posted on April 23, 2010



තම කණ්ඩායම සමග බොහෝ දෙනා එක්වන බව ද ඒ ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව ද ඒ එක් වෙන අය වෙන අය නොලබන සතුටක් වරප‍්‍රසා ද ලබන බව ද පෙන්වා සිටීම.

ඉක්මණින් එක්වීමෙන් වඩාත් ඵල ලැබිය හැකි බවත් ඒ සඳහා ලහිලහියේ කටයුතු කළ යුතු බවත් කියා පෑම.

එක්වන අය උසස් බව දේශපේ‍්‍රමී බව, ජනතාවාදී බව හා සංවෙදී බව කියා පෑම.

ඉතා උස් හඩිනුත් ඉතා හොඳින් පෙනෙන පරිද්දෙනුත් විශාල රූප කායන් විශාල කටවුට් විශාල සෙනග භාවිතා කරමිනුත් උස්ව නැගීම.

තමන්ගේ දෙයම හරි යයි කියා පෑම සඳහා අතිශය පක්ෂග‍්‍රාහී ලෙස හැසිරීම; ඒ සඳහා තමන්ගේ පක්ෂයේ උදවියගේම සාක්ෂි ගෙන ඒම; ඊට ප‍්‍රතිවිරුද්ධ හැම සාක්කියක්ම ප‍්‍රතිවාදියා බොරු කාරයෙකු බව ඉතාම විවෘතව කියා ඉවත දැමීම හරහා තම මතයන් තහවුරු කිරීම.

ඉතාම සැළසුම් සහගතව යම් යම් දේ සිදුකර එය අහම්බයෙන් වුනා සේ දක්වා ඒ සිදුවීම්වල වාසිය තම පිළට රැගෙන දීම.

ප‍්‍රතිවාදී පිළේ තීරණාත්මක චරිතයන්ට එරෙහි මඩ නිර්මාණය කිරිම; ඒවා ඉතා විශ්වාසවන්තව පිළිගැනෙන ඇත්ත ලෙස ඉදිරිපත් කිරීම හරහා එම චරිත නැති බංග කර දැමීම; එම චරිත මිනිසුන් නොවන තිරිසන් ආත්මයන් ලෙස ද ඒවා නිකම් ම නිකම් හිත්පිත් නැති ද‍්‍රව්‍යයන් ලෙස ද හෑල්ලුවට ලක්කිරීම; දේශදෙ‍්‍රාහී, පව්කාර, පාවා දෙන, තිරිසන්, අධම යන ලේබල්වලින් සැරසීම; ඔවුන් මිනිසුන්ගේ අවමානයට, අපකීර්තියට හා බැහැර කිරීමට ලක්ව ඇති බව නිතර නිතර පැවසීම.

කිසිවක් නිශ්චය ලෙස නොකියන නමුත් කියන හැම දෙයක්ම ඉතා රසවත් ලගන්නා සුලු සංවෙදී වචන වලින් සැරසීම.

මිනිසුන් තුළ පහසුවෙන් ඇළලිය හැකි පහත් එහෙත් ගිනිගන්නා සුලු හැගීම් අතිශය ලස්සන වටිනාකම් සපයමින් ඇවිලවීම.

මෙ සඳහා ශබ්දකෝෂයේ ඇති ගෞරවනීය, නිදහස්, සාමකාමී, ආදරණිය, අවංක, සහෝදරාත්මක, සාධාරණ වැනි වචන කිසි අරුතක් ඇති නොකර වුව භාවිතා කිරීම.

ඔත්තු කරුවන් යොදා ගනිමින් ද පැරණි මියගිය අතීතය අවුස්සමින් ද අතිශයින් පුද්ගලික යයි සළකා බොහෝ අය විසින් ඉවත දමන කුණු කන්දල් එකතු කරමින් ද මුදල් විසිකරමින් බොරු නිර්මාණය කරමින් ද තොරතුරු කළමනාකරණය කරමින් ඉහත කටයුතු සඳහා දායක වීම.

නායකයා යම් කණ්ඩායමක් ඇමතීමෙ දී එම කණ්ඩායමට අනුරූපව ඇඳුම කටහඩ හා භාෂාව සකස් කර ගනිමින් ඔවුන්ගේම කෙනෙකු ලෙස පෙනී සිටීම; ඔවුන්ගේම භාෂාවෙන් සුලුවෙලාවක් හෝ ඇමතීම.

තමන් ගැඹුරින් හිතන බව පෙන්වන්නට සමහර තැනක කතාව මදකට නවතා නැවත ආරම්භ කිරීම; මවා ගත් ගැඹුරු කටහඩක් යොදාගෙන ගාම්භිරත්වයක් මවා පෑම හා අනුවෙදනීය රගපෑමක නිරත වීම.

සමහර තැනක වුවමනාවෙන් වැරදි හා ග‍්‍රාම්‍ය වචන යොදා තමන් බහුශ‍්‍රැතයෙකු නොවන බව තමන් ද සාමාන්‍ය මිනිසෙකු බව කියා සිටීම.

දරුවන් වඩා ගැනීම, වයසක කෙනෙකුට අත දීම, කුඩා දරුවෙකු හා දෙඩීම වැනි සාමාන්‍ය මිනිසුන් කරන වැඩ කිරීම.

රට තුළ පිළි ගැනෙන සියලු චරිත තමන් සිටින බව ඔප්පු කිරීම සඳහා ඔවුන් මිලදී ගැනීම; ඔවුන් සමග කුලුපග වීම; ඔවුන්ගේ කටයුතු වලට සහභාගීවීම; ඔවුන්ට වරදාන දීම හරහා ඔවුන් තමන්ගේ පිලට එක්කර ගැනීමට කටයුතු කිරීම.

එසේ නොකළැකි අය තර්ජනය බියවැද්දීම් හා තිරශ්චීන මර්දනය හරහා නිශ්ක‍්‍රීය කිරීම හෝ නිශ්ශබ්ද කිරීම.

ප‍්‍රචාරයන් කිරීමෙ සියලු මාර්ග නතු කර ගැනීම හා ප‍්‍රතිවාදියා සතු සියලු මාර්ග ඇවිරවීම.

බොරුව පුන පුනා කීම හරහා එය ඇත්තක් කරවීම.

ඇත්ත අවුරාලීම හා සැගවීම මගින් අතුරුදහන් කිරීම.

තමන්ගේ පිළේ වැරදි කළ උන් එසේ කළේ අනිත් පැත්තේ අය විසින් පෙළඹවනු ලැබීමෙන් බවත් නැතිනම් උන් තරම් අහිංසක මිනිසුන්‍ කොට්ඨාෂයක් මේ මිහිතලය මත නැති බවත් පුන පුනා කීම.

“සතුරා”ගෙන් ජනතාව ආරක්ෂා කිරීම තමන්ගේ වගකීම ලෙසත් “සතුරාගේ කුමන්ත්‍රණ” වලින් තමන්ව ආරක්ෂා කිරීම ජනතාවගේ වගකීම ලෙසත් අර්ථ දක්වා ඒ තුළ අමුතුම ආකාරයේ සන්ධානයක් ගොඩ නැගීම.

ප්‍රතිපාක්ෂිකයා සතු මිනිසුන් මිලදී ගැනීම දිනා ගැනීම හෝ බැරි නම් දුර්වල කර දැමීම.

ප්‍රතිපක්ෂය වෙත යතැයි සැක සිතන තමන්ගේ මිනිසුන් විවිධ උපක්‍රම යොදා නතර කිරීම හෝ බැරිවෙලාවත් ඒ උපක්‍රම අසාර්ථක කර පැති මාරු කළ හොත් සෙසු අයට පාඩමක් වනසේ හක්කේ තබා සෙම ඇරීම.

ප්‍රතිපක්ෂය හොදින් හා නරකින් පරාජය කරමින් පරාජය කළ බව පෙන්වමින් හෝ පරාජය කළ බව පෙනෙන්නට හරිමින් ප්‍රතිපක්ෂයට ආත්මයක් අනාගතයක් නැතැයි කියා සිටීම.

Advertisements
Posted in: Uncategorized