පශ්චාත් මැතිවරණ විශ්ලේෂණයකට තවත් කාරණා ටිකක් අවශ්‍යය

Posted on April 22, 2010



අද නව පාර්ලිමෙන්තුව රැස්වෙයි. ඒ තුළ ඇදී ගන්නා මිනිසුන් හා ගැහැණුන් තේරුවෙ අප විසිනි. එහෙත් ඒ තෝරාගැනීම සිදුවූයේ ඇයි ද යන්න පිළිබද බොහෝ සැක සාංකා ඉතිරිව ඇත.

ඒවා ඉදිරි වසර හය තුළ තවදුරටත් සැකයන් ලෙසම පවතිනු ඇත් ද නැත්නම් හෙලිදරව් වනු ඇත්දැයි අපි නොදනිමු.

ඉවසීමක් නැති නිසාම එසේ ඉබෙ හෙලිදරව් වෙන්න අරිනවා වෙනුවට විමසා බලන්නට අප කැමති ය.

කොතෙක් කල්පනා කරත් විග‍්‍රහ කර ගත නොහැකි කරුණු කීපයක් තිබෙ. ඒ සඳහා ඔබෙ සහය පතන්නේ ඒ නිසා ය.

  • විමල් වීරවංශ කොළඹින් වැඩිම මනාප ගෙන තේරෙද්දී ජාතික නිදහස් පෙරමුණේ සෙසු අපේක්ෂකයින් එකෙක්වත් ඇතුළට නොආවෙ මන්ද?
  • කල් ඉකුත් වී ගිය නළු නිළියන් හා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජනතාවගෙන් කණගාටුදායක ලෙස ප‍්‍රතික්ෂේප වෙද්දී කල් ඉකුත්වීත් දේශපාලන අනුග්‍රහයෙන් ක්‍රීඩාව තුළ රැදෙන සනත් ජයසූරිය මාතරින් වැඩිම මනාප ගන්නේ මන්ද?
  • ලොවම දිනූ බොගොල්ලාගම රට තුළ පැරදෙන්නේ මන්ද?
  • වෙනදා චන්ද දෙදහසක් යම්තම් ඉක්ම වූ මර්වින් සිල්වා මහතා හදිසියේ මනාප එක් ලක්ෂ පනස්දහසක් ලබා ගන්නේ මන්ද?
  • රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් වෙනදා වැඩිම මනාප ගන්නා වාසු සහෝදරයා මෙදා යම්තම් පණ නල පමණක් බෙරා ගෙන මැති සබයට එන්නේ මන්ද?
  • නාලන්ද එල්ලාවලගේ මරණය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටියදී වැඩිම මනාප ගත් මහින්ද රත්නතිලක මහතා මෙදා විසිවී ඇත්තේ මන්ද?
  • ඇමති කමක් වත් නැති දුමින්ද සිල්වා මහතා කොළඹින් දෙවැනි තැනට මනාප ලැබුවෙ මන්ද?
  • චන්දය තව වරක් තියන්නට මග පෑදු ඒ නිසාම තමන්ට අමතර හිරිහැරයක් කළ මහින්දානන්ද අලුත්ගමගේ ඉහළින් තබන්නට වැඩිපුර ජනතාවක් දෙවැනි මැතිවරණ දිනයේදී පෙළ ගැසුනේ මන්ද?

මැතිවරණ ප්‍රතිඵලවලින් ඔල්මොරොන්දන් කර ඇත්තේ විපක්ෂය පමණක් නොවේ. ආණ්ඩු පක්ෂයටත් හිතා ගත නොහැකි බොහෝ දේ ඒ තුළ සිදු වී ඇත.

සරසවිවල සමාජ විද්‍යා අංශයන් තිබෙන්නේ මේවා ගැන පර්යේෂණයන් කර කරුණු දක්වන්න ය. ඒවා නැති නිසා අපට අ‍පගේ නිගමනවලට බහින්නට සිදුව තිබේ.

කාඩ් කුට්ටමේ කොතරම් බලසම්පන්න කාඩ් තිබුන ද කාඩ් අත අනුව පුංචි කොළ ලොකුවීමටත් ලොකු කොළ වැඩකට නැති ඒවා වීමටත් ඉඩ තිබේ. අවසානයේ වැදගත් වන්නේ තිබෙනා කාඩ්වලින් ගත හැක්කේ කුමන ප්‍රයෝජනයක්ද යන්න ය.

සියුම්ව බැලුවහම පෙනෙන්නේ ලොක්කාට වඩා ලග ලොක්කාගේ අනුමැතිය වඩාත් ලැබූ කාඩ්වලට වැඩි වටිනාකමක් ලැබුණු බව ය. ඇත්තටම තුරුම්පුව අනුව පුංචි කොළ ලොකු වෙන්නා සේ ය.

ඊට අමතර වශයෙන් බොක්කු පාරවල් හැදීම කණ්නාඩි රෝද පුටු දීම වැනි සිල්ලර කටයුතු ද ප්‍රමුඛත්වය දිනා තිබිණි (මේ ගැන හොදම විග්‍රහය කර තිබුනේ ටැබූ ය).

ප්‍රතිපත්ති තොරොම්බල් වී ඇති රටක අතට අහුවෙන බෝක්කු පාරවල් කණ්නාඩි රෝද පුටු වලට වටිනාකමක් තිබේ. තමන්ට නොලැබුනත් මිනිසුන් එවැනි දෑ කරන මිනිසුන්ට සැළකීම යුතුකමක් කොට සළකති. එහිදී ඒවා සදහා මුදල් ලබාගන්නේ කෙසේදැයි ඇසීම ඔවුන්ට අදාළ නොවේ.

මොනවත් නොකරන එකාට වඩා යමක් ලබා දෙන එකා හොද ය. හම්බුකරගත් සියල්ල සාක්කුවේ දාගෙන ඒවා තමන්ගේ සුඛ විහරණයට පමණක් යොදා ගන්නා එකාට වඩා ඉන් සොච්චමක් හෝ ජනතාවට ලබා දෙන්නා, එය ජනතාව ඇන්දීම අරමුණු කර ගෙන කළේ වුව ද, හොද ය.

එහෙම බැලුවහම මනාපය තර්කානුකූල ය.

විශ්ව විද්‍යාල පරීක්ෂණ කරන කාලයක අපේ නිගමන වල සත්‍ය අසත්‍යතාවය සොයා දැන ගැනීමට ලැබෙනු ඇත.

Advertisements
Posted in: Uncategorized