මර්වින්ට ඔටුනු පළන්දා ඒ අතින්ම තමනට අං තට්ටුවක් පළදව ගන්නා අපේ බ්ලොග් සහෘදයන්

Posted on April 21, 2010



මර්වින්ගේ ශුද්ධ නගර ව්‍යාපෘතිය වර්ණනා කරමින් අපේ බ්ලොග් සහෝදරයින් ගණනාවක් සටහන් ලියා තිබිණි. මර්වින් නම් පෝරිසාදයා එකවරැම  මර්වින් නම් මහෝපාසිකයා බවට පත්ව තිබේ.

අංගුලිමාල නම් මිනීමරුවාට අංගුලිමාල තෙරණුවන් බවට පත් විය හැකි නම් මැර මර්වියාට සත් ගුණවත් මර්වින් මැතිදුන් බවට පත්වීමට බැරි කමක් නැත.

එහෙත් අපේ බ්ලොග් සහෝදරවරුන්ගේ සතුටට වැඩි ආවිසක් නැතැයි අපට නම් හැගේ. ඒ ද ඉතිහාසය මතක් වීමෙනි.

88-89 භීෂණ සමගේ පුංචි ආණ්ඩුව වැඩට බැස්සේ ද ඔය විදිහට මය. මුලින්ම ගල්කටස් එල්ල වූයේ හොරුන්ට, මැරයන්ට හා ස්ත්‍රී දූෂකයින්ට එරෙහිව ය. මැරයන් ආණ්ඩු මට්ටු කළ යුත්තේ ඔහොම නොවේ දැයි මිනිස්සු ඇසූ හ.

පසු කලෙක පුංචි ආණ්ඩුවේ නීති නොතකා ගෙදර ලයිට් දමා සිටි අයටද ඒ සංග්‍රහය ලැබෙන විට මිනිසුන් අන්දුන් කුන්දුන් වූ හ.

ඒ ඉතිහාසය නැවත වතාවක් උතුරේ ද ඇති විය. “අවර් බොයිස්ලා” උතුරේ කළේ ද අපේ කොල්ලන් දකුණේ කළ දේ මය.

මේ ඉතිහාසය අමතක කරන අයට නැවතත් එම ඉතිහාසයම රග දක්වනු බලන්නට අවස්ථාවක් ලැබෙන්නේ ය.

ඔබම ය රට යනුවෙන් මහින්ද මහ රජාණන්ට ගී ගායනා කරන අයට දැන් ඔබම ය කැළණිය කියා මර්වින් යුව රජ්ජුරුවන්ට ද ගී ගයන්නට පුලුවන.

ශිෂ්ඨ සමාජයක නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරයක් තිබේ. එය තනි පුද්ගලයෙක් විසින් හෝ කණ්ඩායමක් විසින් තමන් අතට ගැනීම හොදක් ලෙස දැකිය හැක්කේ මුග්ධයින්ට පමණකි.

අපේ බ්ලොග් සහෝදරවරු මුග්ධයින් වෙනවාට අපේ කැමැත්තක් නැත.

නිකම්ම නිකම් මතයක් පළ කරන්නට පුරුදුවන්නේ නැතිව කියවන්නට ද උන් හිතාගන්නවා නම් හොද ය. අපේ රටේ ඉතිහාසයෙන් ද බොහෝ දේ ඉගෙන ගත හැකි ය. වෙන රටවල ඉතිහාසයෙන් ද වත්මන උන් වැඩ කරන ආකාරයෙන් ද වැඩිමනත් දේ ඉගෙන ගත හැකි ය.

එසේ නොකළ හොත් සිදුවන්නේ මර්වින්ට ඔටුනු පළදන විට ඒ අතින්ම තමන්ට අං තට්ටුවක් පළදවා ගැනීමට ය.

Posted in: Uncategorized