ගුරුවරයෙකුගේ භූමිකාව

Posted on April 19, 2010



පාසල ගැන ඊයේ ලිවීමු. අද ලියන්නේ ඒ පාසල තුළ තීරණාත්මකම සාධකය ගැන ය. ඒ ගුරුවරයා ය. එ සදහා පිවිසුමක් ලෙස ගුරුවරයෙකුගේ හදවතට සවන් දී සිටිමු.

….”මා පන්තියේ ඉතාම තීරණාත්මක සාධකය යන බියජනක නිගමනයට මම එළැඹ ඇත්තෙමි. මගේ දෛනික මනෝභාවය පන්තියේ කාලගුණය ඇති කරයි. ගුරුවරයෙකු හැටියට දරුවෙකුගේ ජීවිතය ශෝකජනක කිරීමෙ හො ප‍්‍රියජනක කිරීමෙ අතිවිශාල ශක්තියක් මා සතු ය. මට දණ්ඩනයේ හා හිංසනයේ අවියක් වීමට ද යහපත් මනෝභාවයක් ඇතිකිරීමෙ උපකරණයක් වීමට ද හැකි ය. දරුවන්ට උපහාස කිරීමට හෝඋන් විනෝදයට පත්කිරීමට මට හැකිය. උන්ට පීඩා කිරීමට ද උන්ට සහනයක් ගෙන ඒමට ද මට හැකිය. හැම විටම පාහේ අර්බුදයක් සමහන් කිරීමට හෝ උත්සන්න කිරීමට මගේ මැදිහත්වීම සෑහේ. දරුවෙකු මිනිසෙකු කිරීමෙ හෝ මෘගයකු කිරීමෙ හැකියාව මා සතු ය.,….

ගුරුවරයෙකුගේ හදවත (Heart of the Teacher) නම් කෘතියෙන් උපුටා ගත් එම අදහස එය පළවූ ඉංග‍්‍රීසියෙන්ම විඳින්නට කැමති අය සඳහා මෙසේ පහත බහාලමි.

I’ve come to the frightening conclusion that I am the decisive element in the classroom. It’s my daily mood that makes the weather. As a teacher, I possess a tremendous power to make a child’s life miserable or joyous. I can be a tool of torture or an instrument of inspiration. I can humiliate or humor, hurt or heal. In all situations, it is my response that decides whether a crisis will be escalated or de-escalated and a child humanized or de-humanized.

අපේ දරුවන් නිර්මාණය කරන ගුරුවරයෙකුට කළ හැකි දෑ බොහෝ බවත් අප අපේ දරුවන්ගේ අනාගතය උන් අත තබන බවත් අපි දනිමු. එහෙත් ඒ ගුරුවරුන් මත තීරණාත්මක බලපෑමක් කිරීමෙ ලා අප අසමත්ව තිබේ.

දරුවා නිවටයෙකු කිරීමට හෝ දරුවා අභිතයෙකු කිරීමට ගුරුවරුන්ට ඇති හැකියාව සම්බන්ධයෙන් අප එතරම් තැකීමක් කොට නැත. අඩු වශයෙන් ගුරුවරයා අසමත් වූ දෙය පුරවන්නට දෙමාපියන් කීදෙනෙක් සමත්ව තිබේ දැයි දන්නේ උන්ම පමණි.

අපේ නිරන්තර අවධානයට පාසලත් ගුරුවරයාත් යොමුවන්නේ එහි වැදගත් කම අප හගින නිසා ය. ගුරුවරයා ගුරුවරයෙකු කිරීමෙ කාර්යය විදුහල්පතිවරුන්ට පමණක් පවරා සිටිය හැක්කක් නො‍වේ. එය දැනුවත් සමාජය විසින් බාර ගත යුතු ය.

රට ගොඩනැගිය හැක්කේ මිනිසුන් ගොඩ නැගීම හරහා ය. අනාගතය ගොඩ නැගිය හැක්කේ දරුවන් ගොඩ නැගීම හරහා ය.

විමසුම් සහිත නුවණකින් හෙබි එතෙකුදු වුවත් නිර්මාණශීලිවන මිනිසුන් නිපදවන වටපිටාවක් ලෙස මිස එකම වර්ගයේ යාන්ත්‍රික රොබෝවරුන් විනය නැමැති අච්චුවේලා තනන කම්හලක් ලෙස පාසල නොපැවැත්විය යුත්තේ ය.

එපමණ‍ක් නොවේ. අතිශයින් භයානක වර්ගවාදයේ වැට කඩොලු නිර්මාණය කරන ඒ කමකට නැති වැට කඩොලු රැකීම සදහා රටම වුව ගිනි තැබිය හැකි ආවේගශීලී අන්ධ මිනිසුන් ඒ තුළින් එළියට නොපැමිණිය යුතු ය.

ඔබ පාසල සංවර්ධන සමිතියේ සාමාජිකයෙක් නම් ඔබ ආදි ශිෂ්‍ය සංගමයක සාමාජිකයෙක් නම් ඔබට යම් මැදිහත් කිරීමක් මේ සම්බන්ධයෙන් කළ හැක්කේ ය. අඩු වශයෙන් මේ බ්ලොග් සටහනේ ඡායා පිටපතක් ඔවුන්ට ලබා දිය හැක්කේ ය.

රටක් හැදීම නායකයින්ට පවරා අත පිසදා ගන්නේ නැතිව එහි වගකීම අපිදු බාර ගනිමු.

Advertisements
Posted in: Uncategorized