ඊළග අගමැති කවුද? පුරුදු ගොනාම කරත්තෙට බදිමු ද?

Posted on April 18, 2010



මගේ බලාපොරොත්තුව මගේ ඇවෑමෙන් ම පුතුට මෙය හිමි වනු දැකීම ය. රජ කෙනෙකු සිංහාසනය සම්බන්ධයෙන් එවැනි සිහිනයක් දකින්නේ නම් ඔහුට දොස් කීමට බැරි ය.

බොහෝ අය මේ සිහිනය දැක්ක නමුත් හරි උපාය මාර්ගය නොගත් නිසා ඒ අයට ඒ දේ කර ගත ‍නොහැකි විය. දැන් ඒ සදහා අවස්ථාව මට ලැබී තිබේ. මේ පුතයා ලැබුනු අවස්ථාවක් ලෙහෙසියෙන් ගිලිහී යන්න දුන් කෙනෙක් නොවේ. පුතාට කෙළින්ම අගමැති කම දුන්නොත් මක්කා වෙයි ද? මහින්ද රාජපක්ෂ මහාරජානන් තමන්ගෙන්ම ඒ ප්‍රශ්නය අසා ගත්තොත් ඊට ද දොස් කියන්නට කාටවත් බැරි ය.

ඌ තාම තරුණ වැඩියයි මේ රටේ වැඩිහිටි පිරිමින්ගෙන් මට දොස් අහන්නට ලැබෙන එක නම් සිකුරු ය. සිංහල බෞද්ධ ගොවිගම වැඩිහිටි පිරිමි කියන්නේ මගේ ආණ්ඩුවේ කොදු ඇට පෙළ ය. එය කඩා ගෙන පුලුවන් ද? ඒත් ඒ නිවටයින් කෙළින්ම නම් මා එක්ක ඕවා කියා ගෙන එන එකක් නැත. රජුට වුව මෙවැනි සැක සාංකා පහළ වීම අතිශයින් මානුෂික ය.

එක අතකින් බලාගෙන ගියහම ඌ තවම තරුණ වැඩි ය. ඌට ඉක්මණින් රජවන්නට ඕනෑ වුනොත් කැපෙන්නේ මාව ය. රජකම සම්බන්ධයෙන් නම් පුතාව වත් විස්වාස කරන එක හරි නැත. එහෙම හිතුවත් වැරදි නැත. අපේ ඉතිහාසය තුළින් මේ සම්බන්ධයෙන් ඕනෑ තරම් උදාහරණ ජැක්සන් ඇන්තනී විමසා දැන ගත හැකි ය.

අපේම එකෙක් දාගන්න පුලුවන් නම් වඩා හොද ය. එහෙත් එයින් වෙන්නේ පවුල් බලය ගැන කියන කතා තහවුරු වීම ය. අපේ එකෙක් වුනත් ටිකක් වැඩ කාරයෙක් මේක අහුලාගත්තොත් පුතාට පස්සේ කාලෙක දෙන එක බොරු ය. මේ ගැන උදාහරණ ඕනෑ තරම් මහා වංශය සතු ය. චක්‍රවර්තී වුනත් ඒවා කිව්වොත් හොයා දෙනවා ඇත. බැසිල් රාජපක්ෂගේ ප්‍රතිරූපය මෙසේ එක්වර ඇතිවී නැතිව ගියේ ය.

කවුරු වුනත් ඒ තැනැත්තා වැඩි යමක් කළ හැක්කෙක් නොවිය යුතු ය. එතරම් ලොකු බලයක් නැත්තෙක් විය යුතු ය. ඉතිහාසයේ එකම එක් වතාවක් හැර අනිත් සියලු වතාවල මේ තනතුර දරා ඇත්තේ එක්කෝ මහලුවීම නැත්නම් වෙනත් හේතුවක් නිසා බෙලහීන වූ පුද්ගලයින් විසිනි. ඔවුන් කාටවත් තර්ජනයක් නැත්තේ තමන්ගේ ජීවිතය පවා බොහෝ අමාරුවෙන් වාරු කර ගෙන දිවි ගෙවූ බව ප්‍රකට ය.

චමල් නම් ටිකක් වයස බව ඇත්ත ය. ඒත් චමල්ට තරුණ කොල්ලෙක් සිටීයි. ඒ නිසා ඒ ගැන සිතන්නට ද ටිකක් අමාරු ය.

බලාගෙන ගියහම මේකත් ඉල කැඩෙන වැඩකි. අන්තිම මොහොත වෙනකම් මේ ගැන නිවේදනය නොකිරීමෙන් සියලු දෙනා තුළ බලාපොරොත්තු දල්වා අවසානයේ මට හිතෙන දෙයක් කළ හැකි ය.

එකම ප්‍රශ්නය වන්නේ කී දෙනෙක් මේ වනවිට ටේලර් සාප්පුවලට ඇදුම මස්සවා ගන්නට ඕඩර් දී ඇත්තේ ද යන්න ය. එය උන්ගේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නොවේ.

ජනාධිපති තුමා එසේ කල්පනා කරන්නේ නම් ඒ ගැන ද එතුමාට දොස් කියන්නට ද බැරි ය.

ඇත්තටම අගමැති කම තැපැල් පියුන් කෙනෙකු තරම් වත් වටින්නේ නැති තනතුරක් බව ඇත්ත ය. එහෙත් රජා නැතිවූ දවසක රජ කමට අදින්නට වන්නේ  ඔහුට ය. එදාට රජකමට විතරක් ඇද නිකම් ඉන්නා කෙනෙක් හොයා ගන්නා එකය අමාරුම කටයුත්ත වී ඇත්තේ. රත්නසිරි වික්‍රමනායක නම් මේ තැපැල් පියුන් තනතුරේ පාලකයාට කරදරයක් නොකරම වැඩ බලා තම සුදුසු කම් ඔප්පු කොට ඇති කෙනෙකි. වයස යන්නට යන්නට ඊට සුදුසුකම ද වැඩිවන නිසා ඔහුට නැවත ලැබෙන්නට ඇති ඉඩ ද බැහැර කළ නොහැකි ය.

මේ අනුව අගමැති කම කාට හිමිවේදැයි කියන්නට බැරි ය. හැබැයි එකක් විශ්වාසය. එය මෛත්‍රීපාල සිරිසේනට නම් ලැබෙන්නේ නැති බව ය.

ඒ බව මා දැනගත්තේ එසේ ලැබෙන බවට ඉගියක් බැසිල් රාජපක්ෂයන් විසින් පොලොන්නරුවේ කළ බවට ලද ආරංචියෙන් පසු ය. හීන පලාපල කියන්නේ ඒ විදිහට බව මා අසා ඇත.

අගමැති තනතුර හා ඒ සදහා පුද්ගලයින් තෝරන – නම් කරන ආකාරය ලංකා දේශපාලනයේ තවත් සරදමක් සනිටුහන් කරන බව කියමින් මෙම සටහන අවසන් කිරීමට ‍කැමැත්තෙමි.

බඩගින්නේ ඉන්නා අපට කියවන්නට නරඹන්නට විදින්නට යමක් මේ සරදම නිසා අමතරව ලැබී තිබේ. ඒ මදෑ!

Posted in: Uncategorized