බොරු කාරයින්, කුහකයින් හා වංචනිකයින් බිහි කරන අපේ ශ‍්‍රී ලාංකික පාසල

Posted on April 18, 2010



පාසලට ඇතුල්වන්නේ ම බොරු කප්පරක් කියලා ය. ඒ ගැන බොහෝ දෙනා කියලා ඒවා අහලාම ඇති වෙලා නිසා එය පැත්තකින් තබා පාසල ගැන බොහෝ දෙනා නොකියන සෙස්ස ගැන කතා කරමු.

පාසල තුළ වෙලාවට වැඩ පටන් ගන්නා බවක් පෙන්වන්නේ සීනුව ගහන වෙලාවට පැමිණෙන්නට නොහැකි වූ දරුවන්ට දඩුවම් දීම හරහා ය. එතැනින් පසු කිසිදු වැඩක් වෙලාවට නොකෙරේ. එතකොට වෙලාවට වැඩ කළ යුත්තේ කොතැන ද නොකළ යුත්තේ කොතැන දැ යි උන් ඉන් ඉගෙන ගනිති.

කාර්යාලවලත් ඉර වදින්න කලින් දුවගෙන එන අය අත්සන් කළ පසු විවෙකයෙන් කටයුතු කරන්නේ ඒ අනුව ය. පාසල තුළ ඉගෙන ගන්නා දෙය එයම නිසා එහි අපුලක් දැනෙන්නේ කෙසේ ද?

පාසලේ උත්සවයට එය ප‍්‍රධාන අමුත්තා උත්සවයේ සියලු වෙලාවල්වලට නිගරු කරද්දී ඒ තැනැත්තා වෙනුවෙන් සියල්ල නවතා බලා සිටින හැටි සිසුසිසුවියෝ දකිති.  ඒ නිසා මේ වෙලාවට වැඩ කිරීම කුහකත්වයක් බව ඔවුහු දනිති. එයම සමාජ භාවිතය නිසා එසේ ඔවුහු කුහක වන්නට ද උගනිති.

පාසලේ උත්සවයක් ඇත්නම් ඊට ගෙන්වන්නේ ද ප‍්‍රදේශයේ එපා කරපු දේශපාලනඥයෙකි. සිසුන් ලවා මෙ පෝරිසාදයාට ප‍්‍රශස්ති ගායනා කරවනු ලැබේ. මහත් ගෞරවයෙන් පිලිගනු ලැබේ. අගය කළ යුත්තේ කුමක් ද නොකළ යුත්තේ කුමක් ද පිළිබද මුල්ම හා ප‍්‍රබලම පාඩමක් සිසුසිසුවියෝ මෙ හරහා උගනිති.

ගමටම පිළිලයක් වී ඇති මේ පුද්ගලයා පිළිබද විවෙචනයක් ඇති ගුරුවරු පවා මුවින් නොබැණ මේ සියල්ල ඉවසන විට ගුරුවරයා පන්තියේ කතා කරන ආචාර ධර්ම සාර ධර්ම පිළිබඳ සත්‍යය නැවත විමසන්නට සිසුසිසුවියන්ට අවස්ථාව ලැබේ. ඒ සියල්ල කතන්දර පමණක් බවත් හැසිරිය යුතු ආකාරය වෙනස් බවත් ඒ අනුව ඔවුහු උගනිති.

පාසල තුළ ඇත්තේ පුදුමාකාර නීති පද්ධතියකි. ඒ කොණ්ඩය කැපීම රැවුල කැපීම ඇදුම් ඇදීම වැනි බාහිර කරුණු කීපයක් සම්බන්ධයෙන් පමණකි. ඒවා හරි නම් ඉතිරි සියල්ල අවැදගත් වෙයි. තමන්ගේ සහෝදර සිසුවන් සමග පවත්වන සම්බන්ධය, පාසලේ කටයුතු වලට දක්වන දායකත්වය, නිර්මාණශීලිත්වය සදහා ඇති කැපවීම වැනි මහා දේ ඒ අනුව අමතක කර දැමෙයි.

ඒ නිසාම වැඩිහිටියන් වූ පසු ද කල්පනා කරන්නේ බාහිර කරුණු ය. සිල් රෙද්දක් ඇදගෙන කුපාඩිකම් කරන්නේත් පිරිත් මහ හයියෙන් රටට ඇහෙන්නට දමාගෙන ගල් ගසන්නේත් ඒ නිසා ය.

පාසල තුළ තදින් ක‍්‍රියාත්මක වන නීති පද්ධතිය එසේ ක‍්‍රියාත්මක කරන්නේ කුමක් නිසා දැයි බොහෝ සිසු සිසුවියන්ට අදහා ගත නොහැකි ය. ඒනිසා උන් ඉඩ ලැබුණු විටෙක ඒවා කැඩීමෙන් විනෝද වෙති.

වැඩිහිටියන් ද එලිපිට බීමට විරුද්ධත්වය පළ කරමින් හොරෙන් බොන්නට කැමති ය. චක‍්‍රවර්ති සාදු විරුද්ධ වූයේ ෆොන්සේකා ටිකක් බිව්වාට කමක් නැතැයි එලිපිට කීම සම්බන්ධයෙනි. අරලිය ගහ මැදුරෙ බිත්ති හතර අතර ජනතාවට හොරෙන් බීම එතරම් බරපතල කටයුත්තක් නොවෙතැයි එහිමියන් ට සිතුනේ ලද අධ්‍යාපනය නිසා විය යුතු ය.

අධ්‍යාපනය යනු විෂය කරුණු ඉගෙන ගැනීම පමණක් නම් ඒ සදහා ඉදිරියේදී පාසල්වලට යෑමට අවශ්‍ය නොවනු ඇත. දැනටමත් ඒ කටයුතු වලින් සෑහෙන කොටසක් ටියුෂන් මාස්ටර්ලා බාරගෙන ඇත. ටියුෂන් මාස්ටර්ලා නොමැති වුවද ඉංග‍්‍රීසි දන්නා දරුවන්ට ඒ දැනුම වඩාත් සාර්ථක ලෙස අන්තර්ජාලය හරහා වුව ලබා ගත හැකි නිසා ය.

පාසලෙන් ඊට වැඩිමනත් දෙයක් බලාපොරොත්තු වෙතත් නොකෙරෙන්නේ ම එයම ය. වැරදියට කෙරෙන්නේ ම එයම ය.

පාසල කල් ඉකුත් වෙමින් තිබේ. ඇත්තටම වැස්සකටවත් ඊට ගොඩ වදින්නට සිදු නොවේ නම් වැඩිය හොඳ ය. එහෙත් ආණ්ඩුවෙ බලය නිසා කල් ඉකුත්වී ගිය මෙය වළඳන්නට අපට කෙසේ වෙතත් අපේ දරුවන්ට සිදුව තිබේ.

නරක් වී ඇති දෙයක් කන්නට බල කෙරුණු විට කළ යුත්තේ නහය වහගෙන වැළදීම ය. එතකොට වැඩෙන් බාගයක් ෂේප් ය.

උගුරෙන් පහලට දාගත්තත් බඩ කැරලි ගහන විට ලෙහෙසියෙන් ෂේප් කළ නොහැකි භාගයක් ඉතිරිව තිබෙන බව ප්‍රත්‍යක්ෂ වේ.

ඉතින් කළ යුත්තේ කුමක් ද? අප විසින් එක්ව පිළිතුරු සොයා ගත යුතු ප්‍රශ්නයත් එයම ය.

රටම එකම පිළිලයක්ව තිබියදී පාසල පමණක් එයින් වෙන්ව පවතින්නේ කෙසේද යන සාධාරණ ප්‍රශ්නය කෙනෙකුට නැගිය හැකි ය. අපට කළ හැක්කේ ප්‍රති පැනයකින් ඊට පිළිතුරු දීම ය. රටේ අනාගතය ගොඩ නැගීමේ තීරණාත්මක කාර්යයක් පාසල සතු ය. රටතුළ වෙනසක් සදහා කරන උද්ඝෝෂනයක දී එක් නිශ්චිත ඉලක්කයක් විය යුත්තේ පාසල නොවේ ද?

Posted in: Uncategorized