මර්වින් මතට තිත තියයි! නුවර පාර සකෘදාගාමී වෙයි! w3Lanka ට සූර් වෙයි!

Posted on April 17, 2010



කාගෙන් බණ අසා දැයි නිච්චියට කිව නොහැකි මුත් මර්වින් අඩු වශයෙන් සෝවාන් වී ඇති බවට නම් සැකයක් නැත. ඔහුට පහළ වී ඇතැයි කියන බෝධි චිත්තය බුදුන්ට පහළ වූ චිත්තයට වඩා පළල් ය.

බිම්බිසාර රජතුමාගේ ගජ මිත්‍රයෙක් වී සිටිද්දීත් පහසුවෙන් රජතුමා ලවා අණ බෙරයක් යවා මත්පැන් තහනම් කරන්නට මස්කඩ වස්සවන්නට පුලුවන් කම තියෙද්දීත් බුදුන් එසේ කළේ නැත. කෙළින්ම අල්ලන්නට තිබූ නහය අත වටයක් කරකවා අමාරුවෙන් ඇල්ලුයේ මන්ද යයි කල්පනා කළ මර්වින් කෙළින්ම අල්ලලා බුදුන්ව ද ඉක්මවන්නට සිතුවේ ය.

ලවුඩ්ස්පීකර්වලින් බණ කියා හදන්නට පුලුවන් රටක් නොවන නිසා ලවුඩ්ස්පීකර් පාවිච්චියෙන් අණඥාවක් පනවා රට හදන්නට මර්වින් සිතුවේය.

සමහර බ්ලොග්වල කියන්නේ ලවුඩ්ස්පීකර් අණඥාවක් මගින් සියලු සුරාසැල් මත්පැන් බලපත්‍ර රහිත ඒවා ද ඇතුළුව වසන්නට නියම කළ බවයි. මේ කතාව අසා අපේ සමහර බ්ලොග් සහෝදරවරුන් (නුවර පාර) සකෘදාගාමී වූ අතර සමහරුන්ට නොබීම ( W3Lanka ) සූර් වූ බව දැන ගන්නට ලැබිණ.

සමහරු නම් කීවේ මස් කඩ ද වසන්නට නියම කළ බව ය. රතන හාමුදුරුවෝ වැඩෙන් පරාද ය. ජනපති නිකම් විහිළුවක් බවට පත් ව තිබේ. සෝවාන් මර්වින්ගේ ප්‍රධානත්වයෙන් පුංචි ආණ්ඩුවක් වැඩට බැස තිබේ.

ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්න දැයි කීවේ මේවා අහලා ය. පණ යන්න තිබුනේ පෙරේදා ය.

අපි අමද්‍යප ව්‍යාපාරයන්ගේ අතීත කතාව විමසන්නට කුමාරතුංග මුනිදාසයන් නැවතත් කැදවීමට සිතුවේ දේශප්‍රේමය දොරේ ගලන රටට ශාන්තියක් වත් ඇතිකිරීමට ඉන් හැකිවේවායි පැතුම ඇතිව ය. අපි එතුමාට සවන් දෙමු.

…”ලංකායෙහි අමද්‍යප ව්‍යාපාරය පැටුණේ නොමිලයේ මත්පැන් නොලැබැ කිපියාවූ වීරයකු විසිනි. එහෙයින් ආරම්භය දුෂ්ට යැ. අමද්‍යප ව්‍යාපාරයේ යෙදෙන්නෝ බොහෝ විටැ මද්‍යයෙන් ශක්තිය ලබති. එහෙයින් මාර්ගය දුෂට යැ. අමද්‍ය ව්‍යාපාරය නිසා ජනයෝ කුහක වූහ. රට දිලිදු වියැ. හොර මත්පැන් ව්‍යාපාරය පැතිර ගියේ යැ. එසේ විකුණන මත්පැන් විෂ මිශ්‍ර හෙයින් මිනිසුනට අන්තරායකර යැ. එහෙයින් ඵල අත්‍යන්ත ප්‍රමාණයෙන් දූෂ්ට යැ. මේ තැන් අසත්‍ය යැයි කවුරු කියත් ද?

රටේ ප්‍රධාන වැවිල්ල පොල යැ. එහි මිල ඉතා පහළට වැටුණෙන් රටේ දිලිදු කම නොඉවසියැ හැකි තැනට බටුයේ යැ. පිළියම රදා සිටිනුයේ පොල් ගසින් නිපැදවිය හැකි දෑ වැඩි කිරීමෙහි යැ. සැක නැති ලෙස මහත් අයක් දෙනුයේ එයින් නිපදැවෙන මද්‍යයයි. අන් කිසිවක් නිපදවන ලෙසක් නොදක්වා මැ ඒ අය මාර්ගය වසන්නට තැත් කිරීම තරම් රටට සතුරු කමෙක් වෙන නැත්තේ යැ.

මහෞෂධ පණ්ඩිතයෝ මියුළු නුවරට යුද පැමිණි කල්හි සැණකෙළියට අවසර දෙන්නාහු කැමති නම් මහා පානයත් බොවු යැයි කීහ. ඔහු බුදු වී ලොවම නිවූහ. අපේ අමද්‍යප වීරයෝ රට දිලිදු කළහ. මිනිසුන්ගේ දීන බව කුහක බව දියුණු කළ හ. ඔහු මතු කවර තත්වයකට පැමිණැ කෙබදු ලෝ වැඩක් කෙරෙත් ද?”….

එදා අද වැනි තත්වයක් රට තුළ තිබිණි නම් කුමාරතුංගයන් ද දේශද්‍රෝහී ගොඩට දමා දඩු කදේ ගසන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණි. එහෙම වෙලාවක තම පියා වෙනුවෙන් යුතුකම ඉටුකරනු සදහා පුතා වන ගෙවිදු කුමාරතුංගවත් ඉදිරිපත් වේදැයි අපට සැක ය. දේශප්‍රේමය සියල්ල උඩුයටි කුරු කර ඇති බැවිනි.

Posted in: Uncategorized