තනතුරට වැඳීම

Posted on April 15, 2010



මේ දවස්වල ඉවරයක් නැති වැදුම් ය. වැදුම් විතරක් නම් මදෑ. වැන්දවීම් ද කොතෙකුත් තිබේ. වැදුම් හා වැන්දවීම් අති පූජනීයත්වයෙන් සළකන වටපිටාවක් අවුරුද්දත් සමග පහළවෙයි. ඒ ගැන කල්පනා කරමින් සිටිනා විට සිහියට නැගුන සිතිවිලි ධාරාව අවසානයේ නැවතුනේ බ්ලොග් සටහනක් තුළ ය.

මැර දේශපාලකයින් පාසල්වලට ගෙන්වා උන්ට සිසු සිසුවියන් ලවා වැන්දවීමෙන් නොනැවතී තමනුත් වැද වැටී කරන විදුහල්පති විගඩම් වලින් අප රටට අඩුවක් නැත. එය තව තවත් පළල් කර ආණ්ඩුවේ පත්වීමක් ලබන ඉලන්දාරීන් හා ගැටිස්සියන් ලව්වා ද අලුතින් වන්දවා ගැනීමට ආණ්ඩුවේ නිලධාරීන් විසින් ද කටයුතු කර තිබේ. දෙවැනි වන්නේ අහවල් දෙයකට දැයි සිතුනා විය හැකි ය.

මේ වැන්දවීම ගැන කෝපවූ කෙනෙකි අපේ මුනිදාස කුමාරතුංග මැතිදුන්. ඒ නිසා ම ලක්මිණි පහනේ සිය කතුවැකියෙන් එතුමා මෙසේ කියයි. ඒ 1934 අගෝස්තු 28 දා ය. වසර බොහෝ ගණනක් ඉක්ම ගියද එයම නැවත කීමට සිදුව තිබේ. ඒ එවැනි කවි නාහන ජනතාවකට ය.

නමා සිරස කොඳු ඇට පෙළ වක      ගස්සා
යොමා ඇස බිමට අබිමන් පසු         බස්සා
සමාන වී කොටියෙකු ලග ගොන්     වස්සා
කිමා කරනු මෙලෙසට පසු පස       උස්සා

මේ විදිහට වැද වැටීමෙන් වන්දි භට්ටකම් කරන්නේ මොන එකකට දැයි ප්‍රශ්න කරන එතුමා මෙසේ වැතිරී දිනිතියට නිගා කිරීම නොසරියැයි කියයි.

මිනිසෙකු ලෙසට පැවැතී සිටැ තම කි      රිය
දනිතොත් කරන සැටි විළි නැති නර න   රිය
වැන තම එකකු ළගැ මේ ලෙසට වැති    රිය
දිනිතිය හට නිගා කැරැවීම නොස           රිය

විශේෂයෙන් දරුවන්ට මේ දීනත්වය පුරුදු කිරීම එතුමන්ගේ කම්පාවට හේතු වෙයි.

මතුවට රට වවන්නෝ දරුවෝයැ අ          පේ
ඔවුනට පුරුදු වුවහොත් මේ පැවතුම තො   පේ
පිටරට දනට දිනැ දිනැ කෙමෙනි වන කැ   පේ
හිමිකොට දුන් වැනි යැ එක විටැ මැ රට අ  පේ

හිගමනට ගියත් අපායට ඇදෙනවා යයි බණ පොතේ කීවත්  තනතුරට වදින මේ නිහීන වැඩේ නොකටයුතු යැයි එතුමෝ කියති.

සැපා සියලු නැතිවී හිගමනට යත            ත්
අපායට මැ ඇදෙව යි බණ පොත කිය      ත්
පපා නරි ගතිය හා සිතැ බිය ද මහ           ත්
එපා වැඳ වැටෙන්නට තනතුරට තව        ත්

බොහෝ අය සිතන්නේ වැද වැටීම ජාතියේ සංස්කෘතික ලක්ෂණයක් කියා ය. එය එසේ නොවන බව කියන්නටය අප කුමාරතුංගයන් කැදවුයේ.

වැරදි දේශපාලනයක් ‍රටේ ඇත්තේ වැරදි ඇබ්බැහිකම් හා පුරුදු නිසා ය. ඒවා විමසුමට බදුන් කළ යුත්තේ එහෙයිනි.

Posted in: Uncategorized