සියලු කුණු බේරුවල් බොක්කට… සොරි මනාප ක‍්‍රමයට! දන්න ඉටි ගෙඩිය!

Posted on April 13, 2010



දකුණු පළාත් සභා මහඇමති ශාන් විජේලාල් මහතාගේ ගෙදරට පහර දී ඇති අතර එය විමසීමට ගිය බද්දේගම සමිත හිමියන් ඒ ප‍්‍රහාරයේ වගකීම පවරා තිබුනේ මනාප ක‍්‍රමයට ය.

පාලිත රංගෙ බණ්ඩාරට එල්ල කරන ලද මාරාන්තික ප‍්‍රහාරයේ වගකීම ද රත්තරන් රෝහිත අබෙගුණවර්ධන විසින් මග්ගොන ගමකට කඩා වැදී සන්ධානයේ ආධාර කරුවන්ටම කෙළීම ද ඊට ප්‍රතිපාක්ෂිකයින් විසින් උත්තර බදිනු ලැබ රත්තරන්ගේ ගෙදරට එල්ල වූ ප්‍රහාරය ද මහින්දානන්ද අලුත්ගමගේ සරත් අමුණුගමෙන් වන්දි ඉල්ලා නඩු මගට පිවිසීම ද කෙහෙලිය සමග මහින්දානන්ද කෙහෙවලු අල්ලා ගැනීම ද ඇතුළු බොහෝ දේ වැටෙන්නේ මෙම ගිණුමට ය.

සියල්ලම මෙහි ලියා නැත. සංවාදයකට පිවිසෙන්නට මේ ටිකම සෑහෙන නිසා ය.

“මිනිස්සු නරක නැත. නරක ක‍්‍රමයයි.” ආණ්ඩුව පැත්තෙන් මෙම ප්‍රකාශය බර දමා කියනු අසන්නට ලැබේ.

දිවයින කතුවැකිය මෙය තවත් ඉදිරියට ගෙන යමින් මෙසේ කියයි. “එහෙත් මෙවර මැතිවරණයෙන් පසු එකම පක්ෂයේ අය මනාප වෙනුවෙන් එකිනෙකාට තඩි බා ගත් හැටි සිහිවන විට නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම පාර්ලිමෙන්තු පනතකින් සම්මත කරගත් නීතියක් බවට පත් කර ක‍්‍රියාත්මක කිරීම වුව වැදගත් බව හැගේ.”

පනතකින් සම්මත කරගත් නීතියකින් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම! අහෝ මේ බුද්ධිය කොහෙන් හොයා ගත් එකක් ද?

රටේ නීතිනම් වැහිවැහැලා ය. ඒවා සම්මත කර ගෙන ඇත්තේ ද පාර්ලිමෙන්තු පනත් වලිනි. එහෙත් ඒවා ක‍්‍රියාත්මක නොකෙරේ. ඒ මෙම වල් සංස්කෘතිය නිසා ය. එහි ප‍්‍රධාන වග උත්තර කරුවන්ට ජනතාව චන්දය දෙන්නේ පෝලිමේ ගිහිල්ලා ය. නීති හදන්නට යන අය ඉස්සෙල්ලාම කරන්නේ නීති කැඩීම ය. ඒ බව දැන දැනත් ජනතාව නීති හදන්නට උන්වම පත් කරති. එහෙව් රටක අලුතින් හදන නීති පස්ස පිහිදාන්න ගන්න කඩදාසි තරම් වත් රටට අලුතින් යමක් එකතු කරන්නේ නැත.

අප නොතේරුම් කමට එහෙම කියනවාද දන්නේ නැත. ඒ නිසා ඊනියා ජාතික පුවත් පත් කතුවරයන් විසින් එහෙම තැනක අලුත් පනතින් කරන්නේ මොකද්දැයි පහදලා දෙනවා නම් හොඳ ය.

එංගලන්තයේ ලියැවුණු ව්‍යවස්ථාවක් නැත. එහෙත් මෙහෙම සෙල්ලම් එහි සිදු නොවේ.

තමන්ගේ පැත්තේ ඉන්නා කප්පරක් තක්කඩින් ආම්බන් කරන්නට බැරිවීම ක‍්‍රමයේ වැරැද්දක් නොවේ.

නීතිය ක‍්‍රියාත්මක කළ යුත්තේ කාට විරුද්ධව දැයි නොදැන පොලීසිය ඉන්නේ අතරමං වෙලා ය. අත් අඩංගුවට ගත යුත්තේ මහින්දානන්ද අලුත්ගමගේ ද කෙහෙළිය දැයි සොයා ගන්නට බැරිව නාවලපිටිය පොලීසිය දහ අතේ කල්පනා කරද්දී අච්චු කළ යුත්තේ රත්තරන්ට ද රාජිතට ද යන්න නොදැන මග්ගොන පොලීසිය අන්ද මන්ද වී තිබේ. ඒකට වගකිව යුත්තේ මනාප ක‍්‍රමය නොවේ. රටේ පවතින මේ අලුත් සංස්කෘතිය ඇතුළේ ආරක්ෂා කළ යුත්තේ කවරෙක්ද නීතියේ රැහැනට හසු කර ගත යුත්තේ කවරෙක්දැයි පොලීසිය හරියට දන්නේ නැත. එහෙව් විට‍ක පොලීසියට කළ හැක්කේ කුමක් ද? නිකම් ඉල්ලා පරිප්පු කන්නේ කුමට ද? රාජකාරි කරන්න ගොහින් තූත්තුකුඩියට මාරුවීමක් ගන්නේ අහවල් දෙයකට ද?

ආණ්ඩුවෙ ගෝල බාලයින් ආණ්ඩුව අනුමත කරන්නේ කුමන තක්කඩි වැඩ ද අනුමත නොකරන්නේ කුමන වැඩ දැයි හරියට දන්නේ ද නැත. දැලි පිහියෙන් කැපුවහම බේ‍රුණ නිසා ඊළගට උන් කරන්නේ කඩුවකින් වැඩේ දුන්නහම මොකක් වෙයි දැයි බැලීම ය.

ප‍්‍රශ්නය ඇත්තේ එතැන ය. නීතිය කඩන අයටත් රකින අයටත් කැඩිය හැක්කේ කුමන නීතිය ද නැතිනම් රැකිය යුත්තේ මොන නීතිය ද යන්න පිළිබඳ නිනව්වක් නැත.

එහෙත් විසදුම් සොයන්නට යන්නේ වෙනත් තැනක ය.

භාවිතයට ගන්නවා නම් මේ තියෙන නීති හොදටම ප්‍රමාණවත් ය. භාවිතයට ගන්නේ නම් මේ ක්‍රමයේ එහෙමට කිව හැකි ආබාධයක් ද නැත. ක්‍රමයට සියල්ල බැර කරහම අත පිහදා ගැනීම පහසු ය.නොකෙරෙන වෙද කමට කෝදුරු තෙල් හත්පට්ටයකුත් තවත් ටිකකුත් ඕනෑ යයි පැරැන්නන් කීවේ මේ වාගේ ඒවා ටය.

හිටු කියන විට ඕනෑම යුග පුරුෂයෙක් දඩස් ගා හිටවෙන බලයක් සහිත ජනපති කෙනෙක් සිටිද්දී යම්තම් හෝ සෙලවුනොත් සෙළවුනු එකා කුදලා ගෙන යන්නට රාජ්‍ය යන්ත්‍රණයක්ම තිබියදී ක්‍රමය හරි නැතැයි කියන්නේ මොන කටින්ද?

ඔබම ය රට! ඹබම ය අප! ඔබම ය මැර බලය! ඹබම ය පොලීසිය!

Posted in: Uncategorized