මැතිවරණ සමාලෝචනයට පසුවදනක්…

Posted on April 12, 2010



ආණ්ඩුව මෙතරම් වැරදි කරද්දීත් අති විශාල මිනිසුන් සංඛ්‍යාවක් ඊටම චන්දය දෙන්නේ ඇයි දැයි යන්න විරුද්ධ පාක්ෂිකයින් බො‍හෝ දෙනෙකුට තේරුම් ගත නොහැකි කාරණයකි. ඒ නිසා විරුද්ධ පාක්ෂිකයින් බොහෝ දෙනෙක් මිනිසුන් මෝඩ යයි ද අන්ධ යයි ද යන නිගමනයට පැමිණ තිබේ.

එහෙත් තත්වය ඊට හාත් පසින් වෙනස් ය. මිනිසුන් බොහො‍් දෙනෙක් අප හිතනවාට වඩා කට්ට ය. උන් තමන්ගේ පෞද්ගලික දියුණුව පහසුවෙන් සළකා ගත හැකි ෂෝට් කට් සොයති. දරුවාට පාසලක් සොහොයුරාට රස්සාවක් බිරිදට මාරුවක් ඒ අතර ප්‍රමුඛ ස්ථානය ලැබෙන කටයුතු ය. ඒ සදහා කළ යුත්තේ දිනන පැත්තට සහයෝගය දීම ය.

ඊට අමතරව මිනිසුන් අප බොහෝ දෙනෙක් හිතනවාට වඩා දාර්ශනික ය. ඒ නිසා උන් දර්ශනවාදී ද්‍රෂ්ඨියකින් චන්දය දෙන මේ කටයුත්ත දෙස අමතරව බලති. අප පසුගිය ලිපිය (ඉලක්කය හා උපාය මාර්ගය) ලිවුවේ ඒ ගැන කියන්න ය. චන්දය දිනන ක්‍රමය ‍වැදගත් නැත. දින්නාට පසු කරන දෙය හොද නම් දිනන්නට අනුගමන කරන ක්‍රමය ගැන නෑසු කන් ඇතිව නොඇරුණු ඇස් ඇතිව සිටියාට කමක් නැත.

ඉතින් මේ ආණ්ඩුව ඇති කරන හොද මොකක්ද? බටහිර ජාතීන්ට ඕනැ හැටියට නටන්නට දෙන්නේ නැතිව සිංහල අපේ රටේ කටයුතු අපට ඕනෑ පරිදි කරගෙන යාමේ ඉඩකඩ ලබා දී තිබීම ය. එයින් අදහස් කරන්නේ වැඩි වෙනසක් නැතිව මේ විදිහටම වැඩ කටයුතු කරගෙන යෑමේ ඉඩකඩ ය.

ගැමියා බය වෙනසකට ය. වේගයෙන් වන වෙනසකට ය. සෙමින් ගලා යන ඔහුගේ ජීවිතයට වෙනස ගෙනෙන්නේ අනවශ්‍ය අභියෝගයකි. ඉතින් ඒ වෙනස වළකන්නට සමත් බලවේගය මොන උප්පරවැට්ටියකින් හෝ දිනනු දැකීම ඔහුගේ කැමැත්ත ය. අපේ රටේ වැඩිහරියක් ඉන්නේ ගම්මු ය. ගම්වල පමණක් නොව කොළඹ අවට පදිංචිව සිටියත් ගම්මු ගම්මු ය.

ගම්මු කියන්නේ රට තොට ගැන වැඩි දැනුමක් නැති උන්නති කාමයක් නැති හෙටක් ගැන එහෙමකට බරපතලව සිතන්නේ නැති අද දවසේ ජීවත්වන නිවි සැනසුනු ජන කොට්ඨාෂයකට ය.

කුමන්ත්‍රණයක් වැළැක්වීම මෙතරම් ජව සම්පන්න මන්තරයක් වන්නේත් ඒ සදහා කරන සියලු තුච්ඡ හා නීච කටයුතු මිනිසුන් (ගම්වල හා කොළඹ අවට ගම්වල) විසින් ඉවසා වදාරන්නේත් ඒ නිසා ය.

(එක කරුණක් අමතකව ගියේ ය. ගම්මුවල ඉන්න සියල්ලෝ ගම්මු නොවෙති. නගරයේ ඉන්නා සියල්ලන් නාගරිකයින්ම නොවන්නාක් මෙනි.)

‍ආණ්ඩුව කරන විගඩම්වලට විරුද්ධව මිනිසුන් නැගිටිනු ඇත්තේ වෙනසක් අවශ්‍ය යැයි මිනිසුන්ට හගිස්සවන්නට පුලුවන්‍ වෙතොත් එවන් වෙනසක් සදහා උන් තුළම උනන්දුවක් පහළ කරතොත් හා ඒ වෙනස සදහා අනුගමනය කරන මාර්ගය ද වෙනස තරම්ම ශුද්ධ විය යුතු යයි ඒත්තු ගන්වන්නට අප සමත් වෙතොත් පමණ ය.

ඒතාක් හිස් බඩ පුරවන්නට වතුර බොමින් වුව උන් ඉදිරියේත් ආණ්ඩුව බොහෝ ජඩකම් කරද්දීත් අද මෙන්ම ආණ්ඩුවට සහය දෙනු ඇත්තේ ය.

Posted in: Uncategorized