ඔබ චන්දය දුන් අය පැරදී ඇත

Posted on April 9, 2010



මා චන්දය දුන් අය පැරදී ඇත. එහෙත් මට හිතට දුකක් හෝ කම්පාවක් නැත. මම මගේ යුතුකම ඉටුකළෙමි. මගේ චන්දය විරෝධතා චන්දයකි. මම මගේ විරෝධය පළ කළෙමි. ඒ මට ඇති ය.

මුණිදාස කුමාරතුංගයන් ලක්මිණි පහන කතුවැකියකින් මැතිවරණය ගැන කියා ඇති යමක් මෙහි බහාලන්නේ ඔබ චන්දය දුන් අය පැරදී ඇත්නම් එයින් කම්පා නොවන ලෙස කියන්න ය. අප එතුමාගේ බසට සවන් දෙමු.

“දුප්පතුන්ගේ ගෙවල්වලට පොහොසතුන් නිකම් මැ යන කාලය දැනට මැ පැමිණැ සිටින බව පෙනේ. ඊයේ අසුවල් මැතිතුමා අපේ ගෙදරට ආයේ යැ. අසුවල් පොහොසතා ආයේ යැ. අසුවල් බලවතා ආයේ යැ යනාදිය දුප්පත් කටින් දැන් දැන් බෙහෙවින් කියැවෙයි. අනේ අද අර මැතිතුමා මා සමග සිනාසුණු සැටි! මා තේ බොන්නටත් කැදවුවා! අඩියක් ගසමුද කියා ඇසුවා! මෙබදු කියුම් ද නොයෙක් විට අසන්නට ලැබේ. අපේ කවර වාසනාවත් කාලයක් ද ලබාගෙනැ එන්නේ යැ යි ප්‍රීති වේගයෙන් අසන්නෝද වෙති.”

“හිනාවෙකින් රස බසෙකින් තේ උගුරෙකින් මත්පැන් නමෙකින් බත් කටෙකින් සත කිහිපයකින් නිකම් මැ එක් වරැ නොරැවටෙමු. අප පිටැ පැවැරී තිබෙනුයේ අපේ බඩ උදෙසා මැ ලාභයට විකිණිය යුතු බලයෙක් නොවේ. විකිණියැ හැකි බව නම් සැබෑ ය. එහෙත් ඒ යුතු ද? අපේ අවංකත්වය අපේ අභීතත්වය පතා කර්ම බලයෙන් හෝ වේවා අන්‍ය බලයෙකින් හෝ වේවා මතු මෙරටැ උපදින්නාහු යම් ලෙසකින් අපට ශාප නොකෙරෙත් ද අප විසින් එලෙසක් කළ යුතු යැ. වේලාව පිරිමසා ගන්නට අපේ සැද නුසුදුස්සෙකුට  දී ඒ නුසුදුස්සා මැති සබයට වැදැ රටේ දියුණුවට ඒකාන්ත හානියක් වූ කලැ මතු පරම්පරායෙහි වනුවෝ දුකට පැමිණෙති. අපගේ අපරාධයෙන් එබදු දුකට පැමිණුණු බව දැනැ ගනිති. අපරාධ කළවුන් මතක් කොට සුසුම් ලති. ශාප කෙරෙති. අපගේ මළ සිරුරු ලූ වළට ද හෙණ වදින්නට මේ පාප කර්මය මද නොවේ.”

ලක්මිණි පහන කතුවැකි කියවන විට දැනෙන්නේ මුනිදාස කුමාරතුංගයන් මේ කතුවැකි ලියන්නේ අදට බව ය. 1935 ත් අදත් අතර පරතරය වසර 75 කි. එහෙත් එදා මෙදා තුර අප රටේ කාලය ගෙවී නැත. හේතුව ඉස්සරහට එක් පියවරක් තබන කොට පියවර දෙකක් පස්සට යන්නට ද ඇණවුම් ලැබෙන නිසා ය.

ඉදින් මා මටත් පැරදුණු පිලට චන්දය දුන් ඔබටත් කියන්නේ අප මේ පාපයෙන් සාපයෙන් නිදහස් වූ බව ය. දිනූ පිලට චන්දය දුන් හැම ඒ සාපය කැන්දා ගත් බව ය.

ජාතික රූපවාහිනිය ඔබමය අප ඔබමය රට කියා මහින්ද මහ රජාණන්ගේ ලස්සණ රූප පෙලක් දිග හරින විට මම උගන්ඩාව වෙමියි කියූ ඉඩි අමින්ගේ රුව ඒ තුළින් මතුව එන්නේ රට යන දිසාව ගැන අදහසක් ලබා දෙමිනි.

අදින් දිග හැරෙන යුගය ඒ සාපය විදින යුගයයි. අවාසනාව උන්ට චන්දය නොදුන් අපට ද එය දකින්නට හා විදින්නට සිදුවීම ය.

Advertisements
Posted in: Uncategorized