ඊළග මැතිවරණයේ දී නිවැරදි ජනතාවක් පත්කර ගමු!

Posted on April 8, 2010



ජනතාව වැරදි නම් උන් පත් කරන නායකයින් හරියන්නට විදිහක් නැත. ඒ නිසා කළ යුතු වන්නේ මුලින් නිවැරදි ජනතාවක් පත් කර ගන්න ය. එවිට නිවැරදි දේශපාලනඥයින් අපට ලැබෙනු ඇත. විහිළුවට මෙන් මිතුරෙකු කී කතාව තුළින් මතුවන ගැඹුරු සත්‍යතාවයක් තිබේ.

ඒ නිවැරදි නායකයන් හදන්නට නම් ජනතාව බුද්ධිමත් කළ යුතු බව ය.

එහෙත් මාධ්‍ය මෙන්ම දේශපාලනඥයින් ද කරන්නේ ජනතාව හදනු වෙනුවට උන් ඉන්නා තැන සොයා තමන් ඊට අනුව හැඩ ගැසීම ය. ජනතාව හැදීමට වඩා ඒක ‍පහසුවය. ඉක්මන් ය. නොවරදින සුළු ය.

ජනතාවට අවශ්‍ය යුද්ධය නම් සාමය ගැන කතාව ඒ අනුව පැත්තකට දමා යුද්ධය ගැනම කතා කළ යුතු ය. ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. යුද්ධය පිළිකෙව් කරනු වෙනුවට වඩාත්ම හොදින් එය කළ හැක්කේ බලයේ ඉන්නා අයට නොව තමන්ට යයි දක්වා සිටිය යුතු ය.

ජනතාව ආතල් ගන්නේ පර සුද්දන්ට සිංහලෙන් කතා කිරීමෙන් නම් කරන්නට තිබෙන්නේ බණින්න සුද්දෙක් හොයා ගෙන ඇට්ටි හැලෙන තෙක් බණින එක ය.

ජනතාවට අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ රැකියා නම් පුරප්පාඩු ගැන නොබලා රැකියා දිය යුතු ය. ජනතාවට අවශ්‍ය වන්නේ වැඩි පඩි නම් ගන්නා පඩියටවත් හරියන්නට උන් වැඩක් කරනවාදැයි නොබලා උන්ගේ පඩි වැඩි කළ යුතු ය. ජනතාවට අවශ්‍ය පොහොර සහනාධාර නම් ඇල  දිගේ ගලන්නට පොහොර නිකම් දිය යුතු ය. ඒවා ලබා දෙන්නට මුදල් අවශ්‍ය නම් ලෝකයට ණය වී හෝ ලබා දිය යුතු ය. ඒ සදහා උගස් කළ යුතු වන්නේ රට ද ජනතාව ද උන්ගේ අඹුදරුවන් ද යන්න අමතක කොට ණය ලබා ගත යුතු ය.

ජනතාව ජීවත් වෙන්නේ අද දවසේ පමණක් නම් දේශපාලනඥයා හෙට ගැන අද බැලීමේ තේරුමක් නැත.

ජනතාවට අවශ්‍ය ප්‍රතිපත්ති නොව සිල්ලර දේ නම් ඒවා සැපයීමට කටයුතු කළ යුතු ය.

ජනතාව තම බබාලා වඩා ගන්නවාට කැමති නම් දේශපාලනඥයා උන්ගේ බබාලා වඩා ගත යුතු ය. ජනතාව අතින් ඇල්ලීමට කැමති නම් උන්ට ඇල්ලීමට අත දිගු කළ යුතු ය.‍

ජනතාව රතිඤ්ඤා වලට කැමති නම් උන්ට පත්තු කරන්නට රතිඤ්ඤා සැපයිය යුතු ය.

ජනතාව කිරිබත් කන්නට හා කිරිබත් පිහන්නට කැමති නම් උන්ට ඒ සදහා අවස්ථාව දිය යුතු ය. සහල්‍ හා පොල් ලබා දිය යුතු ය.

උන් ලස්සණ වචන ඇසීමට කැමති නම් ඒවා සොයා ගෙන උන්ට ඒවායින් සංග්‍රහ කළ යුතු ය. උන් සිහින දකින්නට කැමති නම් දේශපාලනඥයා සුරංගනා කතා කිව යුතු ය.

ඒ අතරේ දේශපාලනඥයා බයක් ලජ්ජාවක් නැතිව තමන්ට ඕනෑ දේද කර ගත යුතු ය. සතුටින් ඉන්නා ජනතාවක් දේශ‍පාලනඥයෙක් එහෙම යමක් කර ගත්තාට කිපෙන්නේ නැත.

මේ ගෙවෙන්නේ දේශපාලනඥයාත් ජනතාවත් එකසේ සතුටින් සිටින්නාවූ ඒ යුගයයි. සතුටින් සිටින්නට බඩ පිරෙන්නම වුවමනා නැත. එහෙත් ඒ සදහා හිත නම් පිරිය යුතු ය.

ඒ බව දන්නේ මහ පොළොවේ පය ගසා සිටින දේශපාලනඥයා ය. එහෙම අය සියලු දෙනාම පාහේ දැන්වනවිට ඉන්නේ ආණ්ඩුවත් එක්ක ය. ඉතිරි වූ කවරෙකු හෝ ඇතොත් මෙ මැතිවරණයෙන් පසු උනුත් ආණ්ඩුවත් එක්ක එකට සිට ගනු ඇත්තේ ය.

දේශපාලනඥයෙක් පොළොවෙ පය ගැහුවහම හිතට අමතරව බඩත් පිරෙන්නේ ය.

Posted in: Uncategorized